ෆෙඩ්රික් එංගල්ස්

සාමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට


තෙවන කොටස

ඉතිහාසය පිළිබද ද්‍රව්‍යවාදී සංකල්පය ආරම්භ වන්නේ, මිනිස් ජීවිත රැකීමේ මාධ්‍යයන් හා ඊළගට නිශ්පාදනයේ හා නිශ්පාදනය කළ ද්‍රව්‍ය හුවමාරැවේ මාධ්‍යයන්, මුළු සමාජයේම පදනම වන බවද, ඉතිහාසයේ දක්නා ලද සෑම සමාජයකම වස්තුව බෙදා හරින ආකාරය හා සමාජය පංති වලට හා ගණවලට බෙදී තිබෙන ආකාරය රැදී පවතින්නේ නිශ්පාදනය කරන දේත්, එය නිෂ්පාදනය කරන විධියත්, නිෂ්පාදිතයන් හුවමාරු කරගන්නා ආකාරයත් අනුව බවද, පිළිගැනීමෙනි. මෙම දෘෂ්ටි කෝණය අනුව, සමාජ වෙනස්කම් හා දේශපාලන විප්ලවයන් ඇතිවීමේ අවසාන හේතු සෙවිය යුත්තේ, මිනිසාගේ මොළය තුළ, නැතහොත්, සදාකාලික සත්‍ය හා යුක්තිය ගැන මිනිසා වඩාත් පැහැදිළි දැණුමක් ලබා ගැනීම තුළින් නොව, නිශ්පාදන හා හුවමාරු ක්‍රමවල ඇතිවන වෙනස්කම් තුළය. ඒවා සෙවිය යුත්තේ දර්ශනය තුළ නොව එක් එක් විශේෂ යුගයෙහි ආර්ථිකය තුළය. යටගිය ආර්ථික තත්වයන්ට ගැළපුණු සමාජ ක්‍රමය, නිෂ්පාදනයේ හා හුවමාරුවේ නිහඩලෙහ ඇතිවී තිබෙන වෙනස්කම් නිසා, දැන් තවදුරටත් එසේ නොගැලපෙන බව ඔප්පු කරන්නකි, පවත්නා සමාජ සංස්ථා අසාධාරණයයි සහ අයුක්ති සහගත යයිද, "සාධාරණය අසාධාරණය බවටත්, යහපත වේදනාව බවටත් හැරී තිබේ" * යයිද, යන සංජානනය. හෙළිදරව්වී තිබෙන අංග අසමතාවයන් ඉවත් කිරීමේ මාධ්‍යයන්, එම නිෂ්පාදන ක්‍රම තුළම, අඩු වැඩි ලෙස සංවර්ධනය වූ තත්වයෙන් පවතින බව ද මෙයින් නිශ්චය වන්නේය. මෛ මාධ්‍යයන් සොයාගත හැක්කේ පවත්නා ක්‍රමයට අදාළ සත්‍ය කරුණු තුළිනි. මූලික ප්‍රතිපත්ති කෙරෙන් නිගමනයන්ට එළඹ ගැනීම තුළින් ඒවා නිර්මාණය කරගත හැකි නොවේ. එසේනම් මේ හා සම්බන්ධයෙන් නූතන සමාජවාදය දරන්නේ කුමණ තත්වයක් ද?

වර්තමාන සමාජ ක්‍රමය අද පාලක පංතිය වන ධනපති පංතියේ නිර්මාණයකි. මෙය දැන් කවුරුත් පාහේ පිළිගන්නා කරුණකි. මාක්ස්ගෙන් පසුව, ධනපති නිශ්පාදන ක්‍රමය යනුවෙන් හදුවනු ලබන, ධනපති පංතියට විශේෂ වූ නිෂ්පාදන ක්‍රමය, වැඩවසම් ක්‍රමය, එනම්, පුද්ගලයන්ට, සමාජ පදවිධාරීන් රාශියකට හා ප්‍රාදේශීය සංස්ථාවලට එය ප්‍රධානය කළ වරප්‍රසාද සහිත වූ හා එමෙන්ම එහි සමාජ සංයුතිය වූ පරම්පරාගත යටත්කාරී බන්ධනයන් සහිත වූ හා එමෙන්ම එහි සමාජ සංයුතිය වූ පරම්පරාගත යටත්කාරී බන්ධනයන් සමග වූ වැඩවසම් ක්‍රමය සමග එකකට එකක් ගැලපුණේය.වැඩවසම් ක්‍රමය බිදදැමූ ධනපති පංතිය, එහි නෂ්ටාවශේෂයන් මත නිදහස් තරගයේ, පෞද්ගලික නිදහසේ, නීතිය හමුවේ වෙළද භාණ්ඩ හිමියන් සියළු දෙනාගේම සමානාත්මතාවයේ හා අනෙකුත් සියළුම ධනපති අශීර්වාදයන්ගේ රාජධානිය වූ ධනපති සමාජ ක්‍රමය ගොඩ නැගුවේය. එවක් පටන් ධනපති ක්‍රමයට නිදහසේ සංවර්ධනය වීමට හැකිවිය. වාෂ්ප, යන්ත්‍ර හා යන්ත්‍ර මාර්ගයෙන් යන්ත්‍ර සෑදීම විසින්, භාණ්ඩ සෑදීමේ කල්ගිය ක්‍රමය නවීන කර්මානතය බවට පරිවර්තනය කරන ලද පසු, ධනපති පංතියේ මෙහෙයවීම යටතේ පිළියෙල කරගත් නිශ්පාදනීය බලවේගයන් පෙර නෑසූවිරූ තරම් සීඝ්‍රතාවයකින් හා ප්‍රමාණයකින් සංවර්ධනය විය. නමුත් භාණ්ඩ තැනීමේ පැරණි ක්‍රමය හා එහි බලපෑම යටතේ සංවර්ධනය වූ හස්ත කර්මාන්තය, ඒ කාලයේ ශ්‍රේණි කෙරෙහි බලපෑ වැඩවසම් බාධකයන් හා සමග ඝට්ටනය වූ ලෙසම දැන් වඩාත් අංග සම්පූර්ණ සංවර්ධනයෙන් යුත් නවීන කර්මාන්තය, එය හිරකර තැබීමට ධනපති නිෂ්පාදන ක්‍රමය පැනවූ සීමාවන් සමග ගැටෙන්නේය. නව නිෂ්පාදනීය බලවේගයන් උපයෝගී කරගන්නා ධනපති ක්‍රමය ඉක්මවා දැනටමත් එම බලවේග වර්ධනය වී ඇත. මුල් පාපය සහ දේව යුක්තිය අතර වූ ගැටුම මෙන් නොව, මෙම නිෂ්පාදනීය බලවේග සහ නිෂ්පාදන ක්‍රම අතර ගැටුම මිනිසාගේ සිතෙන් උපදවා ගත් එකක් නොවේ. එය සත්‍ය වශයෙන්, වාස්තවිකව, අපගෙන් බාහිරව, එය ගෙන ආ මිනිසුන්ගේ කැමැත්තෙන් හා ක්‍රියාවලින් පවා ස්වාධීනව පවතින්නේය. සමාජවාදය යනු අන් කිසිවක් නොව, සත්‍යවශයෙන් පවතින මෙම ඝට්ටණය චින්තනය පිළිබිඹු වීමය, ප්‍රථමයෙන්ම කම්කරැ පංතියේ, එනම්, එය යටතේ එක එල්ලේම පීඩා විදින පංතියේ සිත්තුල එය පරමාර්ථයක් වශයෙන් පිළිබිඹු වීමය.

මෙම ඝට්ටනය සමන්විත වන්නේ කුමකින් ද?

ධනපති ක්‍රමයේ නිෂ්පාදනයට පෙර, එනම්, මධ්‍යකාලීන යුගයේදී, ශ්‍රමිකයාගේ නිෂ්පාදනීය මාර්ගවල පෞද්ගලික අයිතිය ඔහුට තිබීමේ අයිතිය මත පොදු වශයෙන් සුළු කර්මාන්ත පැවතියේය. ගම්බද පෙදෙස්වල කුඩා ගොවියාගේ, නිදහස් වැසියාගේ සහ ප්‍රවේණි දාසයාගේ ගොවිතැනද, නගරවල ශේණි තුළ සංවිධානය කරන ලද හස්ත කර්මානතය ද පැවතිනි. ශ්‍රම උපකරණ, එනම් ඉඩම්, කෘෂිකාර්මික උපකරණ, කම්හල, වැඩ, ආයුධ යන මේවා තනි පුද්ගලයන්ගේ ශ්‍රම උපකරණ විය. ඒවා එක කම්කරුවකුගේ උපයෝගීතාවයට සුදුසු වන සේ සකස්කර තිබුණු හෙයින් අවශ්‍යයෙන්ම කුඩා, අගුටුමිටි සහ සීමිත ස්වභාවයේ විය. නමුත්, මෙම හේතුව නිසාම, ඒවා සිරිත් වශයෙන් නිශ්පාදකයාටම හිමිවිය. මෙම විසිරීගිය හා සීමිත නිෂ්පාදන මාර්ගයන් ඒකස්ත කිරීමට, විවර්ධන කිරීමට සහ ඒවා වර්තමානයට ගැලපෙන බලවත් නිෂ්පාදනීය ලීවරයන් බවට හරවා ගැනීමට අවශ්‍ය විය. ධනපති නිෂ්පාදනයේ සහ එහි රක්ෂිකයා වන ධනපති පංතියේ ඓතිහාසික කාර්ය කොටස එය විය. පහලොස්වන ශතවර්ශයේ පටන්, සරල සහයෝගීතාවය, භාණ්ඩ තැනීමේ කර්මාන්ත හා නවීන කර්මාන්තය, යන තුන් අධියරකින් මෙය ඓතිහාසීය වශයෙන් ඉටුකර තිබෙන ආකාරය මාක්ස්ගේ "ප්‍රාග්ධනය" හතරවන කොටසේදී විස්තර සහිතව පැහැදිළි කර තිබේ. නමුත්, එහිද පෙන්වා දී ඇති පරිදිම, මෙම අගුටුමිටි නිෂ්පාදන මාධ්‍යයන් තනි පුද්ගල නිෂ්පාදන මාධ්‍යයන්ගේ තත්වයේ සිට, මිනිසුන් සමූහගත වීමෙන් පමණක් මෙහෙය විය හැකි වන සමාජමය නිෂ්පාදන මාධ්‍යයන් බවට පරිවර්තනය නොකර ඒවා දැවැන්ත නිෂ්පාදනීය බලවේගයන් වන සේ පරිවර්තනය කර ගැනීම ධනපති පංතියට කළ නොහැකි විය. චරකය, අත්යන්ත්‍රය හා කම්මල්කරුවාගේ මිටිය වෙනුවට කටින යන්ත්‍රය, බලවේග යන්ත්‍රය හා වාෂ්ප මිටිය ආ‍‍ෙද්ශ කරන ලදී. තනි පුද්ගල කර්මාන්ත ශාලාව වෙනුවට, සිය ගණන් හා දහස් ගණන් වැඩකරන මිනිසුන්ගේ සහයෝගීතාවය හගවන පැක්ටරි ආදේශ කරන ලදී. එමෙන්ම, නිෂ්පාදනය තනි පුද්ගල ක්‍රියාමාලාවක සිට සමාජමය ක්‍රියාමාලාවක් දක්වාද, නිෂ්පාදිතයන් තනි පුද්ගල නිෂ්පාදිතයන්ගේ සිට සමාජමය නිෂ්පාදිතයන් දක්වාද වෙනස් විය. දැන් පැක්ටරියෙන් නිකුත්වූ රෙදිවියන නූල්, රෙදි සහ ලෝහ භාණ්ඩ කම්කරැවන් රැසකගේ ඒකාබද්ධ නිෂ්පාදිතයක් විය. ඒවා නිමවීමට පෙර ඒවා අනුගාමී වශයෙන් කම්කරැවන්ගේ අත් මගින් යායුතු විය. "මෙය සෑදුවේ මාය, මෙය මාගේ නිෂ්පාදිතයයි" කිසිම තනි පුද්ගලයෙකුට කිව නොහැකි විය.

නමුත් නිශ්චිත සමාජයක මූලික නිෂ්පාදන රටාව, කිසියම් පූර්ව කල්පිත සැලැස්මකින් තොරව, ක්‍රමික ලෙස පැතිරගිය සංසිද්ධික ශ්‍රම විභජනයක් වන කළ, එහි නිෂ්පාදිතයන් වෙළද භාණ්ඩ ස්වරූපයක් ගන්නේය. ඒවා අනනෝන්‍ය වශයෙන් හුවමාරුකර ගැනීමෙන්, මිළට ගැනීමෙන් හා විකිණීමෙන් තම තමන්ගේ අනේක විධ අවශ්‍යතාවයන් ඉටුකර ගැනිමට තනි පුද්ගලයන්ට හැකිවේ. මධ්‍යකාලීන යුගයේ සිදුවූයේ මෙයයි. නිදර්ෂණයක් වශයෙන් ගොවියා කෘෂිකාර්මික නිෂ්පාදිත කර්මාන්ත ශිල්පියාට විකුණා ඔහුගෙන් හස්ත කර්මාන්ත නිෂ්පාදිත මිලට ගත්තේය. මෙම තනි පුද්ගල නිෂ්පාදකයන්ගේ සමාජයට, වෙළද භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සමාජයට, නිෂ්පාදනයේ නව ක්‍රමයක් කඩා වැදුනේය. නිශ්චිත සැලැස්මකින් තොරව සංසිද්ධික වශයෙන් වැඩී ගිය හා සමාජය මුළුල්ලේම බලපැවැත්වූ පැරණි ශ්‍රම විභජන මාධ්‍යයේම, පැක්ටරියේ සංවිධානය කරන ලද පරිදි වූ නිශ්චිත සැලැස්මක් අනුව වන ශ්‍රම විභජනයක් දැන් පැනනැගේය. තනි පුද්ගල නිශ්පාදනය සමග උරෙන් උර ගැටී සිටින සේ සමාජමය නිෂ්පාදනය පැනනැංගේය. මේ දෙආකාරයේම නිෂ්පාදිත, යටත් පිරිසෙන් සමාන වූ හෝ මිළකට, එකම වෙළදපලේ අලෙවි කරන ලදී. නමුත් නිශ්චිත සැලැස්මක් අනුව කළ සංවිධානය සංසිද්ධික ශ්‍රහ විභජනයට වඩා ශක්තිමත් විය. පුද්ගලයන් සමූහයක ඒකාබද්ධ සමාජ බලවේගයන් යොදා වැඩකළ පැක්ටරි, තනි කුඩා නිෂ්පාදකයන්ට වඩා බොහෝ අඩු වියදමකින් ඒවායේ වෙළද භාණ්ඩ නිෂ්පාදනය කළහ. නිෂ්පාදනයේ අංශයෙන් අංශයට තනි පුද්ගල නිෂ්පාදන වැටී ගියේය. සමාජමය වූ නිෂ්පාදනය පැරණි නිෂ්පාදන විධි සියල්ලම විප්ලවයකට භාජනය කළේය. නමුත් සමාජමය නිෂ්පාදනයේ විප්ලවවාදී ස්වරූපය කොතරම් අඩුවෙන් පිළිගැනී තිබිණිද යත්, එය ආරම්භ කරන ලද්දේ ඊට ප්‍රතිකූල අරමුණක් වූ වෙළද භාණ්ඩ නිෂ්පාදනය හා හුවමාරුව සදහා යන්ත්‍රයක් වූ වෙළෙන්දාගේ ප්‍රාග්ධනයත්, හස්ත කර්මාන්තයත්, වේතන ශ්‍රමයත් නිමි තත්වයෙන් එයට හමු වූයෙන් එය එම යන්ත්‍රය බහුල ලෙස උපයෝගී කර ගත්තේය. සමාජමය නිෂ්පාදනය වෙළද භාණ්ඩ නිෂ්පාදනයේ නව ආකෘතියක් වශයෙන් හැදින්වෙමින් එසේ ඉදිරිපත් වූ අතර, බලාපොරොත්තු විය හැකි පරිද්දෙන්ම, එය යටතේද, අයිතිකර ගැනීමේ පැරණි ආකෘති සම්පූර්ණ බලයෙන් යුතුව පැවතුනේ එම නිෂ්පාදනයේ නිෂ්පාදිතයන් විෂයෙහි ද ක්‍රියාත්මක වෙමිනි.

වෙළද භාණ්ඩ නිෂ්පාදනයේ මධ්‍යකාලීන පරිනාමයේදී, ශ්‍රමයේ නිෂ්පාදිතයේ හිමිකරුවා කවරෙක් ද යන ප්‍රශ්නය පැනනැගීමට ඉඩක් නොවීය. සෑම විටකම පාහේ තනි නිෂ්පාදකයා, ඔහුටම හිමි හා සාමාන්‍යයෙන් ඔහු සියතින් නිමවාගත් අමුද්‍රව්‍ය වලින්ද, ඔහුගේම ආයුධ උපයෝගී කරගනිමින් ද, ඔහුගේ හෝ ඔහුගේ පවුලේ අයගේ හෝ අත්වලින් භාණ්ඩ නිෂ්පාදනය කළේය. අළුත් නිෂ්පාදිතය අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවයක් ඔහුට නොවීය. එය සිරිතක් වශයෙන්ම සම්පූර්ණයෙන්ම ඔහුට අයත් විය. එනිසා නිෂ්පාදිතය කෙරෙහි වූ ඔහුගේ හිමිකම ඔහුගේම ශ්‍රමය මත පදනම් වූ එකක් විය. බාහිර ආධාර ලබාගත් අවස්ථාවලදී වුව, සෑම විටම පාහේ එය නොවැදගත් තැනක් ගත් අතර, සාමාන්‍ය සිරිතක් වහයෙන්ම, ඊට ප්‍රත්‍යුපකාර කරන ලද්දේ වේතන ගෙවීමෙන් නොව, වෙනත් ක්‍රමයකිනි. ශ්‍රෙණිවල අධුනිකයන් සහ පුහුණු ශිල්පීන් වැඩ කළේ වැඩිපුරම තමන්ම ප්‍රධාන ශිල්පීන් වීමේ බලාපොරොත්තුවෙන් අධ්‍යාපනය ලැබීම සදහා මිස, එතරම් දුරටම ආහාර හා වේතන සදහා නොවේ. අනතුරුව නිෂ්පාදන මාධ්‍යයන් හා නිෂ්පාදකයන් විශාල කර්මානත ශාලා තුළ සහ භාණ්ඩ තැනීමේ කර්මාන්ත තුළ සංකේන්ද්‍රය වීමත්, ඔවුන් සැබැවින්ම සමාජමය වූ නිෂ්පාදන මාධ්‍යයන් හා සමාජමය නිෂ්පාදකයන් බවට පරිවර්තනය වීමත් සිදුවිය. නමුත් මේ වෙනස ඇති වීමෙන් පසුව වුවද, සමාජමය නිෂ්පාදකයන් බවට පරිවර්තන වීමත් සිදු විය. නමුත් මෙම වෙනස ඇතිවීමෙන් පසුව වුවද, සමාජමය නිෂ්පාදකයන් හා ඔවුන්ගේ නිෂ්පාදිතයන් සැලකුණේ පෙර පරිද්දෙන්මය. එනම්, පුද්ගලයන්ගේ නිෂ්පාදන මාධ්‍යයන් හා නිෂ්පාදිතයන් වශයෙන්මය. මේ දක්වාම ශ්‍රම උපකරණ හිමියාම නිෂ්පාදිතය අත්පත් කර ගත්තේය. එසේ වූයේ නිතරම පාහේ ඔය ඔවුන්ගේ නිෂ්පාදිතය වූ නිසා සහ අන් අයගෙන් ආධාර ලබා ගැනීම සාමාන්‍යයෙන් සිදු නොවූ නිසාය. දැන් දැන් නිතරම පාහේ ශ්‍රම උපකරණ හිමියා නිෂ්පාදිතය තමාට අයත් කරගත් නමුත්, එය තවදුරටත් ඔහුගේ නිෂ්පාදිතය නොවීය. එය අන්‍යයන්ගේ ශ්‍රමයේ නිෂ්පාදිතයක් විය. එනිසා මෙකළ සමාජමය වශයෙන් නිපදවන නිෂ්පාදිතයන් අත්පත් කරගන්නා ලද්දේ නිෂ්පාදන මාධ්‍යයන් ඇත්ත වශයෙන්ම ක්‍රයාත්මක කළ අය, නැතහොත්, ඇත්ත වශයෙන් ශාණ්ඩ නිපදවන්න වුන් විසින් නොව, ධනපතියන් විසිනි. නිෂ්පාදන මාධ්‍ය සහ නිෂ්පාදනය ද ප්‍රධාන වශයෙන් සමාජමය තත්වයට පත්වී තිබිණි. නමුත් ඒවා යටපත්කර තිබුණේ, තනි පුද්ගලයන්ගේ පෞද්ගලික නිෂ්පාදන අවශ්‍ය කෙරෙන, හිමිකම් ක්‍රමයකටය. එම හිමිකම් ක්‍රමය යටතේ හා එය නිසාම, සෑම දෙනාටම තම තමන්ගේ නිෂ්පාදිතය හිමිවන අතර ඔහු එය වෙළදපලට ගෙන එන්නේය. මෙම හිමිකර ගැනීමේ ආකෘතියට රුකුල්දෙන කොන්දේසි නිෂ්පාදන ක්‍රමය විසින් අහෝසි කරනු ලබන නමුත්, එය එම ආකෘතියට යටත්කර තිබේ(හිමිකර ගැනීමේ ආකෘතිය එසේම පැවතුනත්, ඉහත විස්තර කරන ලද වෙනස්කම් නිසා නිෂ්පාදය තරමට හිමිකර ගැනීමේ ස්වභාවයද විප්ලවයට භාජනය වී තිබෙන බව මෙහිදී සදහන් කිරීම අවශ්‍ය නොවේ. මාම මගේ නිෂ්පාදිතය හිමිකර ගන්නවාද? වෙනත් අයෙක් එය හිමිකර ගන්නව‍ාද? යන්න වෙනත් ප්‍රශ්නයක් වන්නේය. ධනපති නිෂ්පාදන ක්‍රමය මුළුමනින්ම කළල ස්වභාවයෙන් අන්තර්ගතවූ වේතන ශ්‍රමය, ඉතා පැරණි බව මෙහිලා සදහන් කරගන්න. ශතවර්ෂ ගණනාවක් තිස්සේ එය වහල් ශ්‍රමයත් සමග පැවතුනේ වරින්වර මතුවන විසිරීගිය ආකාරයෙනි. නමුත් කළලයට සංවර්ධනය ධනපති නිෂ්පාදන ක්‍රමය වශයෙන් නිසි ලෙස වියහැකි වූයේ ඊට සුදුසු ඓතිහාසික පූර්ව කොන්දේසි ඉටුවීමෙන් පසුව පමණකි.) නව නිෂ්පාදන ක්‍රමයට, එහි ධනපති ස්ළුභාවය ගෙනදෙන, මෙම ප්‍රතිවිරෝධය තුළ, වර්තමාන සමාජමය සතුරුතාවයන් සමස්තයෙහිම බීජය අන්තරගතය. නිෂ්පාදන ක්‍රමය වැදගත් නිෂ්පාදන ක්‍‍ෂේත්‍ර සියල්ල හා කාර්මික රටවල් සියල්ලම විෂයෙහි ලබාගන්නා ආධිපත්‍යය වැඩි වු තරමට, එයින් තනි පුද්ගල නිෂ්පාදනය තව තවත් නොවැදගත් අවශේෂ තත්වයට පත් වුයේය. සමාජමය වු නිෂ්පාදනය හා ධනපති ක්‍රමයේ නිෂ්පාදනය අතර අසංගතභාවය වඩ වඩාත් පැහැදිලි විය.

අප කියා ඇති ලෙසට, ප්‍රථම ධනපතියනට හිමි ස්භාවයේ වේතන ශ්‍රමය, වෙනත් ආකාරයේ ශ්‍රම ආකෘතිද සමග, වෙළද පොළේදී හමු විය. නමුත් එය විශේෂයක් වු ඌණ පුරුකයක් වු සහායක තත්වයේ වු තාවකාලික වේතන ශ්‍රමය විය. කෘෂිකාර්මික කම්කරුවා සමහර අවස්ථාවල දින අනුව කුළියට අන්‍යයන්ගේ වැඩ කිරීමට ඉදිරිපත් වුවත් ඔහුට ඔහුගේම ඉඩම් අක්කර කීපයක් තිබුණ හෙයින් කුමන තත්වයක් යටතේ වුව එයින් දුගී ජීවනෝපායක් ලබා ගැනීමට ඔහුට පුළුවන් විය. ශ්‍රේණි සංවිධානය කර තිබුණේ අද පුහුණු ශිල්පියා හෙට ප්‍රධාන ශිල්පියා බවට පත්වන ලෙසටය. නමුත් නිෂ්පාදන මාධ්‍යයන් සමාජමය වී, ධනපතියන් ස්වල්ප දෙනෙකුගේ අතට සංකේන්ද්‍රණය වූ වහාම මේ සියල්ල වෙනස් විය. තනි නිෂ්පාදකයාගේ නිෂ්පාදන මාධ්‍යයන් හා ඔහුගේ නිෂ්පාදිතයන් ද එන්න එන්නම අගයෙන් තොරවිය. ධනපතියා යටතේ වේතන කම්කරුවකු වනු හැර වෙනත් ඔහුට කළහැකි දෙයක් ඉතිරි නොවීය. පසුගිය කාලයේ විශේෂත්වයක් සහ සහායක කාර්යයක් වූ දෙය දැන් සෑම තැනකම පවත්නා දෙය සහ සියළු නිෂ්පාදනයේ පදනම බවට පත්විය. කලින් ඌණපූරකයක් වූ ය කම්කරුවාට ඉතිරිවූ එකම කාරය බවට පත් විය. ටික කළකට පමණක් වේතන කම්කරැවා ජීවිත කාලයටම වේතන කම්කරුවෙක් විය. එම කාලයේම වැඩවසම් ක්‍රමය කඩා විසිරවීමෙන් ද, ගොවීන් ඔවුන්ගේ වාසභූමි වලින් පන්නා දැමීමෙන් ද ආදියෙන් ස්ථීර වේතන කම්කරුවාගේ සංඛ්‍යාව තවත් විශාල ලෙස වැඩි විය. එක් අතකින් ධනපතියාගේ අතෙහි සංකේන්ද්‍රනය වුනු නිෂ්පාදන මාධ්‍යයන් හා අනික් අතින් තමන්ගේ තමන්ගේ ශ්‍රම ශක්තිය හැර අන් කිසිවක් අහිමි නිෂ්පාදනයන් ද එකකින් අනික වෙන් කිරීම සම්පූර්ණ විය. සමාජමය වූ නිෂ්පාදනය සහ ධනපති ක්‍රමයේ හිමිකර ගැනීම අතර ප්‍රතිවිරෝධය නිර්ධන පංතිය හා ධනපති පංතිය අතර සතුරුතාවයක් ලෙසට ප්‍රකට වූයේය.

ධනපති ක්‍රමයේ නිෂ්පාදනය, වෙළද භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සමාජයකට, තනි තනිව නිෂ්පාදනය කරන්නන්ගේ සමාජයකට කඩා වැදුනු බව අපි දුටුවෙමු. එම නිෂ්පාදකයන් එකට බදින සමාජ සම්බන්ධය වූයේ ඔවුන්ගේ නිෂ්පාදිතයන් හුවමාරැ කර ගැනීමය. නමුත්, වෙළද භාණ්ඩ නිෂ්පාදනය පදනකරගත් සෑම සමාජයකම මෙම අමුත්ත දක්නට ලැබේ. එනම්, නිෂ්පාදකයන් හට ඔවුන්ගේම අන්තර් - සම්බන්ධකම් පාලනය කරගත නොහැකි වී තිබීමයි. එක් එක් තැනැත්තා, තමා වෙත තිබෙන නිෂ්පාදන මාධ්‍යයන් උපයෝගී කර ගනිමින් තමන්ගේම අවශ්‍යතාවයන් සදහාත්, ඔවුන්ගේ ඉතිරි අවශ්‍යතාවන් සපුරා ගැනීම පිණිස හුවමාරු සදහාත්, ඔහුගේ ඉතිරි අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිණිස හුවමාරු සදහාත් භාණ්ඩ නිෂ්පාදනය කරයි. ඔහු නිපදවන විශේෂ භාණ්ඩයෙන් කොතරම් ප්‍රමාණයක් වෙළදපලට පිවිසේ ද, එයින් කොතරම් ප්‍රමාණයක් අවශ්‍යවේ ද, යන්න කිසිවෙක් දන්නේ නැත. ඔහුගේ තනි පුද්ගල නිෂ්පාදනයෙන් සැබැවින්ම කිසියම් ඉල්ලුමක් සපිරේද යන්නවත්, කිසිවෙක් නොදනී. සමාජමය නිෂ්පාදනයේ අරාජිකත්වය රජ කරයි. නමුත් අන් සෑම නිෂ්පාදනයක මෙන්ම වෙළද භාණ්ඩ නිෂ්පාදනයෙහිද එයටම විශේෂ වූ, එයින් වෙන්කළ නොහැකි නෛසර්ගික නීති ඇත. අරාජිතක්වය තිබිය දීම, එය තුළම හා එය මගින්ම මෙම නීති, ක්‍රියාත්මක වෙයි. එවා අනාවර්ණය වන්නේ නිරන්තරව පවත්නා එකම සමාජ අන්තර්-සම්බන්ධතාවය වන හුවමාරැව මගිනි. එසේම, මෙහිදී එම නීති, තරගයේ අනිවාර්ය නීති වශයෙන් තනි පුද්ගල නිෂ්පාදකයන්ට බලපායි. ප්‍රමයෙන් ඒවා මෙම නිෂ්පාදකයන්ගේ දැනුමට හසු නොවී පවතින්නේය. ඒවා ක්‍රමික වශයෙන් අත්දැකීම් වල ප්‍රථිපලයක් වශයෙන් ඔවුන් විසින් අවබෝධ කර ගැනීමට යෙදේ. එනිසා, ඒවා නිෂ්පාදකයන්ගෙන් ස්වාධීනව, ඔවුන්ගේ විශේෂ නිෂ්පාදන ක්‍රමයේ ලිහිලක් නොදෙන ස්වාභාවික නීති ලෙසට, ඔවුන්ට සතුරුතාවයකින් යුතුව ක්‍රියාත්මක වෙයි. නිෂ්පාදිතයන් විසින් නිෂ්පාදකයන් පාලනය කරන ලැබේ.

මධ්‍යකාලීන යුගයේදී , විශේෂයෙන්ම එහි මුල් ශතවර්ෂවල, නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් ඉලක්කකර තිබුනේ තනි පුද්ගල උවමනාවන් ඉටුකිරීම වෙතය. ප්‍රධාන වහයෙන් ම එයින් ඉටු වූයේ නිෂ්පාදකයාගේ සහ ඔහුගේ පවුලේ උවමනාවන් ය. පිටිසර පෙදෙස්වල මෙන්ම පුද්ගලික ගැතිභාවයේ සම්බන්ධකම් පැවති තැන්හි, රදල ස්වාමිය‍ාගේ අවශ්‍යතාවයන් ද ඉටු කිරීමට එය ආධාරකාරී විය. එනිසා මේ සියල්ලේම හුවමාරුවක් නොවීය. ඒ හේතුකොටගෙන නිෂ්පාදිතයන් වෙළද භාණ්ඩ ස්වරූපයක් නොගත්තේය. ගොවියාගේ පවුල එයට අවශ්‍ය සියළු දේම පාහේ සපයා ගත්තේය. රෙදිපිළි හා දැව භාණ්ඩත්, එමෙන්ම ආහාර ද්‍රව්‍යයත් සපයා ගත්තේය. පවුල තමන්ගේම අවශ්‍යතාවයන් ද හා රදළ ස්වාමියාට ගෙවීම් කිරීම ද සදහා ප්‍රමාණවත් තරමට වඩා නිෂ්පාදනය කිරීමට පසුව පමණකි. ය වෙළද භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේය. මෙම අතිරික්ත සමාජමය හුවමාරුවට ඇතුලත් කර වෙළදාම සදහා ඉදිරිපත් කරන ලද කළ එය වෙළද භාණ්ඩ බවට පත් විය. නගරවල කර්මාන්ත ශිල්පීන්ට, ආරම්භයේ සිටම හුවමාරුව සදහා භාණ්ඩ නිපදවන්නට සිදුවූ බව සැබෑය. නමුත් තමන්ගේම තනි පුද්ගල අවශ්‍යතාවයන්ගෙන් ඉතා විශාල කොටසක් ද ඔවුහුම සපයා ගත්හ. ඔවුනට වතු හා ඉඩම් කට්ටි තිබුණේය. ඔවුහු ඔවුන්ගේ ගවයන් පොදු කැලයට දැක්කූ අතර එම කැලයෙන් දැව හා දර ද ලබාගත්තේය. ස්ත්‍රීහු පැලැක්ස් හණ හා ලොම් විවීම යනාදිය කළහ. හුවමාරැව සදහා නිෂ්පාදනය කිරීම, නැතහොත, නැතහොත් වෙළද භාණ්ඩ නිෂ්පාදනය පැවතුනේ ළදරු වියට සමාන කළ හැකි තත්වයක පමණකි. එනිසා හුවමාරැව සීමාසහිත විය. වෙළදපොළ පටුවිය. නිෂ්පාදන විවිධ ස්ථර විය. ප්‍රාදේශීය වශයෙන් පිටතින් වෙන්වීමත්, අභ්‍යන්තර ප්‍රාදේශිය සමගියත් පැවතියේය. ගමෙහිදී මාර්ක්ක් සමාජයද (මෙහි 4 වැනි සටහන බලන්න.. එංගල්ස් මෙහි සදහන් කරන්නේ "දී මාර්ක්" නමින් ඔහු කළ කෘතියටය-සංස්කාරක) නගරයෙහි ශේණිය ද විය.

නමුත් වෙළද භාණ්ඩ නිෂ්පාදනයේ ව්‍යාප්තියත් සමග, විශේෂයෙන්ම, ධනපති නිෂ්පාදන ක්‍රමයේ ආරම්භයක් සමග, ඒ දක්වා සැගවී තිබුණු වෙළද භාණ්ඩ නිෂ්පාදනයේ නීති වඩාත් විවෘත්ත ලෙස හා වඩාත් බලවත් ලෙස ක්‍රියාත්මක විය. පැරණි බැමි බුරුල් විය. පැරණි වෙන්කිරීමේ සීමාවන් බිද දමන ලදී. එන්න එන්නම නිෂ්පාදකයන් ස්වාධීන හා තනිවූ වෙළද භාණ්ඩ නිෂ්පාදකයන් බවට පත්විය. පොදු සමාජයේ නිෂ්පාදන සැලැස්මක් නොමැතිකම, අහඹුව හා අරාජිකත්වය විසින් පාලනය වන බව පෙනී ගියේය. මෙම අරාජිකත්වය වඩ වඩාත් ඉහළට වැඩින. නමුත්, සමාජමය නිෂ්පාදනයේ මෙම අරාජික භාවය උත්සන්න කිරීමට ධනපති නිෂ්පාදන ක්‍රමය ආධාර කොටගත් ප්‍රධාන මාධ්‍ය වූයේ අරාජිකත්වයට ප්‍රතිවිරුද්ධ දෙයයි. එය නම් නිෂ්පාදනය වැඩි වැඩියෙන් සංවිධානය කිරීමයි. එය සමාජමය පදනමක් මත සෑම තනි පුද්ගල නිෂ්පාදනීය ආයතනයකම ක්‍රියාත්මක කෙරිණ. මෙයනි, පැරණිකළ පැවති සාමකාමී, ස්ථායී තත්වයන් කෙළවර විය. නිෂ්පාදනයේ කිසියම් අංශයක නිෂ්පාදන සංවිධානය ආරම්භ කරන ලද පසු, එය තමන් සමග එක ළගින් තවත් කිසිම ආකාරයක නිෂ්පාදන විධියක පැවැත්ම නොඉවසුවේය. ශ්‍රමික ක්ෂේත්‍රය සටන් භූමියක් බවට හැරිණි. ශ්‍රේෂ්ඨ ශ්‍රාස්ත්‍රීය සොයාගැනීම්52 හා ඒ අනුගාමී වූ යටත් විජිතකරණය නිසා වෙළද පළ‍වල් වැඩිවිය. එනිසාම හස්ත කර්මාන්තය භාණ්ඩ තැනීමේ කර්මාන්තය වශයෙන් පරිවර්ථනය වීම ඉක්මන් විය. යුද්ධය ඇතිවුණේ හුදෙක්ම විශේෂ ප්‍රදේශවල තනි නිෂ්පාදකයන් අතර නොවේ. ප්‍රාදේශීය අරගල නිසා කල් යාමේදී ජාතික ලැටුම් ඇතිවිය. -17 වැනි සහ 18 වැනි ශත වර්ෂයේ වානිජ යුද්ධ ඇතිවිය. 53අවසානයේ දී, නවීන මහා පරිමාණ කර්මාන්තය හා ලෝක වෙළදපල ආරම්භ වීම නිසා අරගලය විශ්වීය ස්වභාවයක් ගත් අතරම, එම අරගලය පෙර නොඇසූ තරම් කර්කශස වූයේය. තනි ධනපතියන් මෙන්ම, මුළු කර්මාන්ත රටවල්ම පවතින්නේ ද නැද්ද යන්න තීරණය වූයේ නිෂ්පාදනයේ ස්වභාවික නැතහොත් කෘතීම තත්වයන් සලසන වාසි අනුවය. ඇදවැටෙන තැනැත්තා දයානු කම්පා විරහිතව ඉවත දමනු ලැබේ. එය නම් තනි පුද්ගලයා ඔහුගේ පැවැත්ම සදහා කරන ඩාවින් න්‍යානුකූළ අරගලයයි. එය වඩාත් උත්සන්න සැඩබවක් සහිතව ස්වභාව ධර්මයෙන් සමාජයට මාරුවී තිබේ. සත්වයන්ගේ පැවැත්මට ස්වභාවික වූ තත්වයන් මිනිස් සංවර්ධනයේ අවසාන කොන්දේසිය බවට පත්විය. සමාජමය වූ නිෂ්පාදනයත්, ධනපති ක්‍රමයට ආවේනික හිමිකර ගැනීමත් අතර ප්‍රථිවිරෝධතාවය මේ වන විට තනි කර්මාන්ත ශාලාවෙහි නිෂ්පාදනය සංවිධානය කිරීම සහ පොදු වශයෙන් සමාජයේ නිෂ්පාදනයෙහි අරාජික භාවය අතර වන සතුරුතාවයක් ලෙසට ඉදිරිපත් වන්නේය.

ධනපති නිෂ්පාදන ක්‍රමය, එහි ආරම්භයේ පටන්ම එයට අන්තර්භූත වු මෙම සතුරුතා ආකෘති දෙක තුළ චලනය වෙයි. ෆූරියේ දැනටමත් සොයාගෙන තිබෙන එම "විශම කවයෙන්" ඉවත් වීමට එයට හැකියාවක් නැත. ෆූරියේ ඔහුගේ කාලයේදී දැකීමට නොහැකි වූ දෙයනම් ඇත්ත වශයෙන්ම මෙම කවය පටුවෙමින් පවතින බවයි. චලනය වඩ වඩාත් සර්පිල ස්වභාවයක් ගන්නා හෙයින්, ග්‍රහ තරුවල චලනය මෙන් එය මධ්‍ය සමග සංඝට්ඨනය වීමෙන් කෙළවර වියයුතු බවයි. මිනිසුන්ගෙන් අති බහුතරය තව තවත් නිර්ධනයන් බවට හරවන්නේ පොදු සමාජයේ නිෂ්පාදනයෙහි පවත්නා අරාජික භාවයේ බලකාරී සත්‍යයයි. එසේම, නැවතත් නිෂ්පාදනයේ අරාජික භාවය කෙළවර කරන්නේ ද නිර්ධන පංති පොදු ජනතාවමය. නවීන කර්මාන්ත යටතේ යන්ත්‍ර අසීමිත ලෙස දියුණු කිරීමේ හැකියාව අනිවාර්ය නීතියක් බවට හරවමින්, ඒ අනුව සෑම තනි පුද්ගල කාර්මික ධනපතියකුගේම යන්ත්‍ර දියුණු කිරීමට බලකන හා එසේ නොකළහොත් විනාශයේ දඩුවම දෙන බලකාරී ශක්තිය සමාජමය නිෂ්පාදනයේ අරාජික භාවයයි. නමුත් යන්ත්‍ර දියුණු කිරීම යනු මිනිස් ශ්‍රමය අනවශ්‍ය වන තත්වයක් ඇති කිරීමය. වැඩට යන්ත්‍ර යොදා ගැනීම සහ යන්ත්‍ර සංඛ්‍යාව වැඩි කිරීම යනු දශලක්ෂ සංඛ්‍යාත අතින් වැඩකරන කම්කරුවන් ඉවත්කර ඒ වෙනුවට යන්ත්‍ර මගින් වැඩකරන කම්කරුවන් සවල්ප දෙනෙක් ආදේශ කිරීම වේනම් යන්ත්‍ර දියනු කිරීම යනු යන්ත්‍ර මගින් වැඩකරන කම්කරුවන්ව වැඩි වැඩියෙන් ඉවත් කිරීම වන්නේය. අවසාන වශයෙන් එයින් ඉටු කරන්නේ ප්‍රාග්ධනයට සාමාන්‍යයෙන් අවශ්‍ය වන ප්‍රමාණයට වැඩි වැඩියෙන් උපයෝගී තාවය සදහා සූධානම් වේතන කම්කරැවන් සංඛ්‍යාවක් ඇති කිරීමකි. කර්මාන්තයේ වැඩ ඉතා වේගවත් ලෙස කෙරෙන අවස්වලදී උපයෝගී කර ගැනීමත්, නොවැලැක්විය හැකි බිද වැටීම ආ කළ මහපාරට ඇද දැමීමත් සදහා මා 1845 දී කී ("එංගලන්තයේ කම්කරු පංතියේ තත්වය" , පිටු 109 - සංස්කාරක) අංග සම්පූර්ණ කාර්මික හමුදාව ඇති කිරීමකි. කම්කරු පංතිය ස්වකීය පැවැත්ම සදහා ධනපති පංතියට විරුද්ධව කරන අරගලයේදී එය කම්කරු පංතිය මත වැටුණු බරක් වන්නේය. එය ධනපති පංතියේ උවමනාවන්ට ගැලපෙන සේ වේතන පහල මට්ටමේ තබා ගැනීමට ආධාර වන නියමු අවයවයක් වන්නේය. ඒ අනුව මාක්ස්ගේ වචනවලින් කියතොත් කම්කරු පංතියට විරුද්ධව ධනපති පංතිය කරන යුද්ධයේ බලගතුම අයුධය යන්ත්‍ර වන්නේය. ශ්‍රම උපකරන නිරතුරුවම ශ්‍රමිකයාගේ අතින් ජීවනෝපාය මාධ්‍යයන් උදුරා දමයි. කම්කරුවාම නිපදවන නිෂ්පාදිතය ඔහු යටත් කිරීමේ උපකරණයක් බවට හරවා ගනු ලැබේ54. ඒ අනුව ශ්‍රම උපකරණ මගින් කෙරෙන පිරිමැස්ම ඒ හා සමගම එය ආරම්භයේ පටන්ම ඉතාමත් නොසැලකිලිමත් ලෙස ශ්‍රම ශක්තිය අපතේ හැරීමක් ද වන්නේය. සාමාන්‍යයෙන් ශ්‍රමය ක්‍රියාත්මක වීමට අදාළ වන කොන්දේසි පදනම් කරගෙන කරන කොල්ල කෑමක් වන්නේය55. යන්ත්‍ර, එනම් ශ්‍රම කාලය කෙටි කරන ඉතාමත් බලවත් උපකරණයක් ධනපතියාගේ ප්‍රාග්ධනයෙහි අගය විවර්ධනය කිරීම පිණිස ශ්‍රමිකයාගේ කාලය සහ ඔහුගේ පවුලේ අයගේ කාලය සෑම මොහොතක්ම ධනපතියාගේ ප්‍රයෝජනය සදහා ඔහුට ලබාදෙන ඉතාමත් සාර්ථක මාර්ගයක් වන්නේය. ඒ අනුව සමහරක් දෙනා අධික ලෙස වැඩ කිරීම, වෙනත් අය වැඩ නොකර සිටීමට අවශ්‍ය ප්‍රාථමික කොන්දේසිය වන්නේය. ලෝකය මුළුල්ලේම නව පාරිභෝගිකයන් ලුහු බදිමින් දිවෙන නවීන කර්මාන්තය ස්වදේශයේ පොදු ජනතාවගේ පරිබෝජනය සාගතය හා සමාන අවමය දක්වා පහත හෙලන අතර එමගින් තමන්ගේ ස්වදේශීය වෙළද පොළ විනාශ කරයි. "සාපේක්ෂ වශයෙන් අතිරික්ත ජනගහනය නැතහොත් අතිරේක කාර්මික හමුදාව සමුච්ඡ ගතවීමේ ප්‍රමාණය හා ශක්තිය සමග නිතරම තුළනය කරන නීතිය විසින් කම්කරුවා ප්‍රාග්ධනයට සවිකෙරෙන්නේ ප්‍රොමිතියස් පර්වතයට සවිකල වල්කන් දෙවියාගේ කුඥ්ඥවළටත් වඩා ශක්තිමත් ලෙසටය. ප්‍රාග්ධන සමුච්ඡය හා සමගම එය දුක් දොම්නස් සමුච්ඡයක් ද ස්ථාපිත කරයි. එනිසා එක ධ්රුවයක වස්තුව සමුච්ඡගත වීම හා සමගම අනික් ධ්රුවයෙහි, එනම්, තමන්ගේ නිෂ්පාදිතය ප්‍රාග්ධන ස්වරූපයෙන් නිපදවන පංතියේ පැත්තෙහි දුක්-දොම්නස්ද, වෙහෙසවීමේ වේදනාවද, වහල් බවද, අවිද්‍යාවද, කෲරකමද, මානසික පිරිහීම ද වන්නේය"(මාක්ස්ගේ "ප්‍රාග්ධනය", සොනෙන්ෂයින් සහ සමාගම, පිටු 661) නිෂ්පාදන බෙදීමේ වෙනත් ආකාරයක් ධනපති නිෂ්පාදන ක්‍රමයෙන් අපේක්ෂා කිීම යනු බැටරියක විද්‍යුත් අග්‍ර අල්පාම්ලිත ජලය වියෝජනය නොකරනු ඇතැයි ද, බැටරියේ ධ්රුව සසම්බන්ධ වී තිබෙන තාක්කල් ධණ ධ්රුවයෙන් අම්ලකර සෘණ ධ්රුවයෙන් හයිඩ්‍රජනුත් මුදා නොහරිනු අතැයි අපේක්ෂා කිරීම වැන්න.

යන්ත්‍ර දියුණු කිරීම සදහා ඇති සදා වැඩිවන හැකියාව, තනි පුද්ගල ධනපතියාගේ යන්ත්‍ර නිරතුරුවම වැඩි කිරීමටත් ඔහුට බලකරන අනිවාර්ය නීතියක් බවට, සමාජමය නිෂ්පාදිතයේ අරාජිකත්වය විසින් හරවනු ලැබීම අපි දැක ඇත්තෙමු. නිෂ්පාදන ක්ෂේත්‍රය ප්‍රසාරණය කිරීමේ හුදු හැකියාව ද, ඔහු විෂයෙහි එසේම ක්‍රයාත්මක වන අනිවාර්ය නීතියක් බවට පරිවර්තනය වී ඇත. නවීණ කර්මාන්තයේ ප්‍රසාරණීය බලය හා සමග සංසන්ධනය කරන කළ වායුවෙහි ප්‍රසාරණීය බලය ළමා ක්‍රීඩාවක් සේ පෙනේ. නවීන කර්මාන්තයෙහි එම බලය දැන් අපට පෙනෙන්නේ සියලු ප්‍රතිරෝධනයක්ම ගැන සිනාසෙන, සංඛ්‍යාත්මක සහ ගුණාත්මක යන දෙ ආකාරයෙන්ම ප්‍රසාරණය වීමේ අවශ්‍යතාවයක් ලෙසිනි. එවැනි ප්‍රතිරෝධනයන් ඉදිරිපත් කෙරෙන්නේ පරිභෝජනය අලෙවිය හා නවීන කර්මාන්තයේ භාන්ඩ සදහා ඇති වෙළද පොළවල් මගිනි. නමුත් වෙළද පොළවල් විස්තීර්ණ හා පාලනය වන්නේ බොහෝ සෙයින් අඩු ශක්තියකින් ක්‍රියාත්මක වන සම්පූර්ණයෙන්ම අමුතු නීති මගිනි. නිෂ්පාදනය ව්‍යාප්ත වන තරම් වේගයකින් වෙළද පොළවලට ව්‍යාප්ත විය නොහැකිය. සංඝට්ටනය වැලැක්විය නොහැකි වන්නේය. මෙන්ම එයින් ධනපති නිෂ්පාදන ක්‍රමය කැබලිවලට බිදී නොයන තාක් කල් එයින් විසදීමක් ඉදිරිපත් වන්නේද නැත. සංඝට්ටනය වාරික සිදුවීමක් බවට පත්වේ. ධනපති නිෂ්පාදනය තවත් "විෂම කවයක්" උරුම කරගෙන ඇත.

ඇත්ත වශයෙන්ම 1825 වර්ෂයේදී ප්‍රථම පොදු අර්බුදය ඇති වීමෙන් පසුව, සමස්ත කාර්මික හා වාණිජ ලෝකයෙහිමද සියලුම ශිෂ්ටාචාර ජනතාවන් හා ඔවුන්ගේ තරමක් වනචාරී හෙන්චයියන් අතර නිස්පාදනයෙහි හා හුවමාරුවෙහිද හන්දි ඇඹරී යාමක් සෑම අවුරුදු දහයකට පමණ වරක් ඇති වන්නේය. වාණිජය ඇණහිට තිබේ. වෙළද පොළෙහි බඩු පිරී ඉතිරී ඇත. නිෂ්පාදිතයන් ගොඩ ගැසෙයි. ඒවා දැවැන්ත ප්‍රමාණයෙන් වැඩි වන සේම අලෙවි කිරීමටද නොහැකිය. මුදල් නැතිව යයි. ණයවර පහසුකම් අතුරුදහන් වෙයි. පැක්ටරි වසා ඇත. කම්කරු පොදු ජනතාවට අවශ්‍ය යැපීම් මාධ්‍යයන් නොමැතිය. එසේවී තිබෙන්නේ පමණට වැඩියෙන් යැපීම් මධ්‍යයන් නිපදවූ හෙයිනි. එක පිට එක බංකොලොත් ලැබීමද, එකපිට එක විකණා දැමීම ද සිදුවේ. එකතැන පල්වීම අවුරැදු ගණනක් පවතී. එකතුවූ වෙළද භාණ්ඩා රාශිය එක් එක් ක්ෂයතුළ ක්ෂය කළ වටිනාකම් අනුව දීමෙන් ඒවා අවසාන වශයෙන් ඉකුත්වී, නැවතත් නිෂ්පාදනය හා හුවමාරැව ක්‍රමික වශයෙන් ක්‍රියාත්මක වීමට පටන් ගන්නා තෙක් නිෂ්පාදනීය බලවේග සහ නිෂ්පාදිතයන් තොග ගණනින් ක්ෂය වන්නේය. නැතහොත්, විනාශ වන්නේය. මදින් මද වේගය ඉක්මන් වෙයි. එය ඉක්මන් ගමණක් බවට හැරෙයි. කාර්මික ඉක්මන් ගමණ හෙමින් දිවීමකට ද හැරී එය අනතුරැව කර්මාන්තය, වානිජ ණය දීම හා සමපේක්ෂය පිළිබද අංග සම්පූර්ණ ස්ටීපල් චෙස් තරගයකදී ඉව බවක් නොමැතිව ඉමහත් වේගයකින් කරන අසු පැන්නීමක් බව වර්ධනය වී අවසානයේ දී බෙල්ල බිදෙන පිමි පැන පටන්ගත් තැනින්ම එනම් අර්බුධයේ අගලෙහිම වැටී කෙළවර වේ. නැවත නැවතත් ‍එසේම සිදුවන්නේය. 1825 වර්ෂයෙන් පසුව අපි පස් වරක් මෙය අත්දුටුවෙමු. දැනට (1877) අපි හයවෙනි වතාවටත් පීඩා විදිමන් සිටින්නෙමු. මෙම අර්බුධවල ස්වභාවය කොතරම් පැහැදිලි ලෙස නිර්ණය වීද යත් ෆූරියේ පළමු වැන්නම Crise plethoribue බහුලත්වයේ අර්බුදයක් වශයෙන් විස්තර කළේය. එම විස්තරය එම අර්බුද සියල්ලටම ගැලපේ.

මෙම අර්බුද වලදී සමාජමය නිෂ්පාදනය සහ හිමිකර ගැනීමේ ධනපති ක්‍රමය අතර ප්‍රථිවිරෝධය කෙලවර වන්නේ වේගවත් පිපිරීමකිනි. වෙළද භාණ්ඩ සංසරණය තාවකාලිකව නැවතේ. හුවමාරැ මාධ්‍ය වන මුදල හුවමාරැවට භාධකයක් වේ. වෙළද භාණ්ඩ නිෂ්පාදනය හා හුවමාරැව පිළිබද නීති සියල්ලම උඩුයටි හැරී ඇත. ආර්ථික සංඝට්ඨනය එහි අතිපතල අවස්ථාවට පැමිණ තිබේ. නිෂ්පාදන ක්‍රමය හුවමාරු ක්‍රමයට විරුද්ධව කැරළි ගසයි.

මෙහි සත්‍ය කරැණ වන්නේ, පැක්ටරිය තුළ සංවිධානය කරණ සමාජමය නිෂ්පාදනයක්, ඒ සමගම උරෙනුර ගැටී පවතින හා එය කෙරෙහි අධිපතිත්වය පාන, සමාජ නිෂ්පාදනයේ අරාජිකත්වයත්, අතර අසංගතියක් පැවතීමයි. අර්බුද අවස්තාවලදී වේගවත් ප්‍රාග්ධන සංකේන්ද්‍රණය මගින් හා ලොකු ධනපතියන් බොහෝමයක් හා කුඩා ධනපතියන් ඊට වඩා විශාල සංඛ්‍යාවක් විනාශ වීම තුළින් ධනපතියනටම එය අවබෝධ කරනු ලැබේ. ධනපති නිෂ්පාදන ක්‍රමයේම නිර්මාණයක් වූ නිෂ්පාදනීය බලවේගයන්ගේ බලපෑම යටතේ එම නිෂ්පාදන ක්‍රමයේ මුළු යන්ත්‍රයම බිද වැටේ. මෙම අතිවිශාල නිෂ්පාදන මාධ්‍යයන් රාශිය ප්‍රාග්ධනය බවට පරිවර්ථනය කිරීම එයට තව දුරටත් කළ නොහැකිය. ඒවා පුරන්වී පවතී. ඒ හේතුව නිසාම අතිරේඛ කාර්මික හමුදාවද පුරන් විය යුතුය. නිෂ්පාදන මාධ්‍යයන් ද, යැපීම් මාධ්‍යයන්ද, වැඩට සධානම් කම්කරැවන් ද, නිෂ්පාදනයේ හා පොදු වස්තුවේ සියළුම අංගෝපාංගන්ද බහුලව ඇත. නමුත් "බාහුල්‍යත්වය විපත හා අගහිගකම ගෙන එන උල්පතක් වේ." (ෆූරියේ) එසේවීමට හේතුව නිෂ්පාදන මාධ්‍යන් සහ යැපීම් මාධ්‍යයන් ප්‍රාග්ධනය බවට පරිවර්ථනය කිරීම වලක්වන දෙය එයම වීමයි. ධනපති සමාජයේ නිෂ්පාදන මාධ්‍යයන්ට කි්‍රයාත්මක විය හැක්කේ ප්‍රමයෙන් ප්‍රාග්ධනය බවට එනම් මිනිස් ශ්‍රම ශක්තිය සූරා කෑමේ මාධ්‍යන් වන සේ පරිවර්තනයකට භාජනය වීමෙන් පසුව පමණකි. නිෂ්පාදන හා යැපීම් මාධ්‍යයන් මෙසේ ප්‍රාග්ධනය බවට පරිවර්ථනය වීමේ අවශ්‍යතාවය ඒවා කම්කරුවනුත් අත්ර අවතාරයක් මෙන් නැගී සිටී. නිෂ්පාදනයේ ද්‍රව්‍යමය සහ පුද්ගලමය ලීවරයන් එක්තැන් වීම වලක්වන්නේ එයමය. නිෂ්පාදන මාධ්‍යයන් ක්‍රියාත්මක වීමත් කම්කරුවන්ගේ වැඩ කිරීම හා ජීවත් වීමත් තහනම් කරන්නේත්එයමය. එනිසා එක් අතකින් මෙම නිෂ්පාදනීය බලවේගයන් තවදුරටත් මෙහෙයවා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් ධනපති නිෂ්පාදන ක්‍රමය වරදකරුවී තිබේ. අනික් අතට මෙම නිෂ්පාදනීය බලවේගයන්ම පවත්නා ප්‍රතිරෝධතාවය ඉවත් කිරීමට ප්‍රාග්ධනය වීමේ එහි ඇති ගුණය ඉවත් කිරීමට සහ සමාජමය නිෂ්පාදනීය බලවේගයන් සේ ඒවායේ ස්වභාවය ප්‍රායෝගික ලෙස පිළිගැන්වීමට වඩ වඩාත් බලවත්ව ඉදිරියට එයි.මෙම නිෂ්පදනීය බලවේගයන් ඒවායේ ප්‍රාග්ධන ස්වබාවයේ ගුණයට විරුද්ධව වු ඒවායේ මෙම කැරැල්ල බලවත් වෙත්ම තමන්ගේ සමාජමය ස්වභාවය පිළිගන්නා ලෙස ඒවා දෙන නියෝග වඩවඩාත් බලවත් වෙත්ම ධනපති තත්වය යටත් හැකිතාක් දුරට ඒවා පංතියට බල කිරීමක් එයින් සිදුවේ. ආර්ථික බිද වැටීමේදී මහා ධනපති ආයතන ඇද හැලීමට නොදෙවෙනි ලෙසට ආර්ථික අධිවේග කාලපරිච්ඡේදය සමග එන එහි අසීමිත ණයවර උද්ධමනය ද විවිධ වර්ගයේ බද්ධ ව්‍යාපාර වස්ත්‍ර සමාගම් තුල අපට දක්නට ලැබෙන ලෙසට නිෂ්පාදන මාධ්‍ය ස්කන්ධ මහාරාශියක් සමාජමය වීමට පෙළඹවන්නකි. මෙම නිෂ්පාදන හා බෙදා හැරීමේ මාධ්‍යන් බොහෝමයක් අතිශයින් දැවැන්තය. දුම්රිය ව්‍යාපාරයෙහි නියැලුනු වෙනත් කිසිම ධනපති සූරා කෑමකට ඉඩ නොලැබෙන තරමට ඒවා දැවැන්තය. පරිණාමය තවදුර ඉදිරියට ගිය අවධියකදී මෙම අකෘතියද ප්‍රමාණවත් ‍ෙනාවන්නේය. නිෂ්පාදනය හැසිරවීම සදහා විශේෂ රටක විශේෂ කර්මාන්ත අංශයක නිෂ්පාදකයන් "සංගත" නැමති ව්‍යාපාර සංගම් තුළට මහා පරිමාණයෙන් එක්සත් වෙති. නිෂ්පාදනය කරන මුළු ප්‍රමාණය ඔවුහු තීරණය කරති. එම ප්‍රමාණය තමන් අතරේ කොටස් වශයෙන් බෙදාගෙන එමගින් කළින් තීරණය කරගත් අලෙවි මිලක් ක්‍රියාත්මක කරති. නමුත් ව්‍යාපාරික කටයුතු අසාර්ථක වූ වහාම මෙම වර්ගයේ සංගත ව්‍යාපාරය සාමාන්‍ය වශයෙන් බිදී යාමට තුඩුදෙයි. මේ හේතුව නිසාම ඊටත් වඩා විශාල සංගමික සංකේන්ද්‍රණයක් ඇති කිරීමට එයින් බල කිරීමක් ඇති වේ. එම විශේෂ කර්මාන්තය සම්පූර්ණයෙන්ම එකම බද්ධ ව්‍යපාර වස්තු වෙළද සමාගමක් බවට පත්වෙයි. අභ්‍යන්තර තරගය මෙම වෙළද සමාගමේ අභ්‍යන්තර ඒකාධිකාරයට ඉඩදී ඉවත් වෙයි. 1890 දී ඉංග්‍රීසි රාසාර නිෂ්පාදනයේ මෙය සිදු විය. විශාල කර්මාන්ත ශාලා 48 ක් එකම සමාගමක් අතෙහි ඒකාබද්ධ කිරීමෙන් පසුව දැන් එහි කටයුතු එකම සැලැස්මක් අනුව සහ පවුම් 600,000 ක ප්‍රාග්ධනයක් ඇතිව කරගෙන යනු ලැබේ.

සංගත ව්‍යාපාර තුළ තරග කිරීමේ නිදහස එහි විරුද්ධාර්ථයට එනම් ඒකාධිකාරයට වෙනස් වේ. එමෙන්ම ධනපති ක්‍රමයේ සමාජයේ කිසිම නිශ්චිත සැලැස්මකින් තොරව කරන නිෂ්පාදනය ආක්‍රමණයේ යෙදී සිටින සමාජවාදී සමාජයේ නිෂ්චිත සැලැස්මක් අනුව නිෂ්පාදනය කිරීම හමුවේ යටත් වේ. ඇත්තෙන්ම මෙය මෙතෙක්ම තවමත් සිදුවන්නේ ධනපතියන්ගේ යහපත සහ වාසිය සදහාය. නමුත් මෙම අවස්ථාවේදී සූරාකෑම ඉතාමත් පැහැදිළිව පෙණෙන නිසා එය බිද වැටෙනු ඇත. සංගත ව්‍යාපාර මගින් නිෂ්පාදනය පවත්වාගෙන යෑම ලාභාංශ ජාවරම් කාරයන්ගේ කුඩා කණ්ඩායමක් විසින් බියසැක නොමැති ලෙස ප්‍රජාව සූරාකනු ලැබීම කිසිම ජාතියක් ඉවසා නොසිටිනු ඇත.

කෙසේ හෝ වේවා සංගත ව්‍යාපාර ඇතිව හෝ නැතිව ධනපති සමාජයේ නිළනියෝජිතයා වන රාජ්‍යයට අවසානයේ දී නිෂ්පාදන කටයුතු මෙහෙයවීම බාරදීමට සිදුවනු ඇත.* (මම "සිදුවනු ඇත" යයි කියමි. නිෂ්පාදනය හා බෙදාහැරීමේ මධ්‍යයන් රජයට පවරා ගැනීම ක්‍රියාත්මක කරන්නේ අද පවත්නා රජය වුවත්, එය ආර්ථික ඉදිරි පියවරක් හා නිෂ්පාදනය සමාජය විසින්ම පවරා ගැනීමට ප්‍රාථමික වූ තවත් පියවරක් වන්නේ එම මාධ්‍යයන් බද්ධ ව්‍යාපාර වස්තු සමාගම්වල කළමණාකරණ ආකෘතිය අභිබවා ඇත්ත වශයෙන්ම වර්ධනය වී ඇතොත් හා එනිසාම ඒවා රජයට ගැනීම ආර්ථික වශයෙන් අනිවාර්යනීය වී ඇතොත් පමණි. නමුත් මෑතක පටන් බීස් මාර්ක් විසින් රජය සන්තක කාර්මික ආයතන ඇතිකළ පසු වරින්වර නිවට බැලයන්ගේ වැනි තත්වයට ඇද වැටෙන ව්‍යාජ වර්ගයකසමාජවාදයක් මතුවී තිබේ. එය වැඩි කළබලයක් නොමැතිව සියළුම ආකාරයේ බිස්මාර්ක් වර්ගයේ පවා රාජ්‍ය හිමිකම සමාජවාදී යැයි ප්‍රකාශ කරයි. ඇත්ත වශයෙන්ම දුම්කල කර්මාන්තය රජයට ගැනීම සමාජවාදී නම් එවිට නැපෝලියන් සහ මැටර්නික් සමාජවාදයේ නිර්මාතෘවරැන් අතරට එකතු කළ යුතුය. ඉතාමත් සාමාන්‍ය දේශපාලන හා මූල්‍ය හේතුකරණකොට ගෙන බෙල්ජියම් ආණ්ඩුව තම ප්‍රධාන දුම්රිය මාර්ග තමන්ම ඉදිකර ගත්තේනම් කිසියම් ආර්ථික බලකිරීමකින් තොරව හුදෙක්ම යුද්ධයක් ඇති වුවහොත් ඒ සදහා සධානමින් තබා ගැනීමටත්, දුම්රිය සේවකයන් ආණ්ඩුවට ඡන්දය දීමට රංචු වශයෙන් ගෙන ඒමටත් විශේෂයෙන්ම පාර්ලිමේන්තු පනත් වලින් නිදහස් නව ආධායම් මාර්ගයක් තමන්ටම ඇතිකර ගැනීම සදහාත් බිස්මාක් විසින් ප්‍රධාන ප්රුසියන් දුම්රිය මාර්ග රජයට ගන්නා ලද්දේ නම් මෙය මොනම අර්ථයකින් වත් සෘජුව හෝ වක්‍ර නැතහොත් විඥ්ඥ‍ාත හෝ අවිඥ්ඥාත සමාජවාදී පියවරක් නොවීය. නෙඑසේනම් රාජකීය Seehandlung56 සමාගම රාජකීය පිගන්භාණ්ඩ කර්මාන්තයත් යුද්ධ හමුදාවේ සන්නාලි සේවය වුවත්, එපමණක් නොව 111 වැනි පෙඩ්රික් විලියම් රජ කාලයේ කපටි බල්ලෙක් යෝජනා කළ පරිදි ගණිකා මඩම් රජයට ගතහොත් එය පවා වුවත් සමාජවාදී ආයතන වනු ඇත.) රාජ්‍ය දේපල බවට හැරීමේ මෙම අවශ්‍යතාවය ප්‍රථමයෙන්ම දැනෙන්නේ පණ්වුඩ හුවමාරුව සදහා අදාළවන තැපැල් කාර්යාල විදුලි පණිවුඩ සේවය හා දුම්රිය සේවය යනාදියෙහිය. නවීන නිෂ්පාදනීය බලවේගයන් කළමණාකරණය තවදුරටත් ධනපති පංතියට කළ නොහැකි බව අර්බුද වලින් ප්‍රදර්ශනය වේ. නිෂ්පාදනය සහ බෙදා හැරීම සදහා ඇති මහා ආයතනයන් බද්ධ ව්‍යාපාර වස්ත්‍ර සමාගම්, සංගත ව්‍යාපාර හා රජයේ දේපල බවට පරිවර්ථනය වීමෙන් එම කටයුතු සදහා ධනපතියන් කොතරම් අනවශ්‍යද යන්න පෙනී යේ. ධනපතියාගේ සියළුම සමාජ කාර්යයන් දැන් වැටුප් ලබන සේවකයන් විසින් ඉටුකරනු ලැබේ. ලාභාංශ මඩියේ ලා ගැනීම කූපන් ඉරීම හා ධනපතියන් එකිනෙකා කොල්ලකා ගැනීමෙහි යෙදෙන ව්‍යාපර පොළෙහි ධූකෙලියෙහිදීම හැර ධනපතියාට ඉටු කිරීමට තවත් සමාජමය කාර්යයක් නැත්තේය. ධනපති නිෂ්පාදන ක්‍රමය පළමුව කම්කරැවන් එළියට ඇද දමයි. දැන් එය ධනපතියන් ද එළියට ඇද දමයි. එය වහාම ඹවුන් අතිරේක කාර්මික හමුදාවට එකතු නොකළත් කම්කරැවන්ට කළ පරිද්දෙන්ම ධනපතියන් ද ජනගහනයේ අතිරේක පිරිස් අතරට ඇද දමයි. නමුත් නිෂ්පාදනීය බලවේගයන් බද්ධ ව්‍යාපාර වස්තු සමාගම් හා සංගත ව්‍යාපාර බවට නැතහොත් රාජයේ හිමිකමට පරිවර්තනය වීම නිසා ඒවායේ ධනපති ස්වභාවය මැකී නොයේ. බද්ධ ව්‍යාපාර වස්තු සමාගම් සහ සංගත ව්‍යාපාර තුළ මෙය මනාව පැහැදිළි සේ පෙනේ. තවද නවීන රාජ්‍ය යනු කම්කරුවන්ගේ සහ එමෙන්ම තනි පුද්ගල ධනපතියන්ගේ ද ඇගිලි ගැසීම් වලට විරුද්ධව ධනපති නිෂ්පාදන ක්‍රමයේ බාහිර තත්වයන්ට සහයෝගය දීම පිණිස ධනපති සමාජය පැදල ගන්නා සංවිධාන ආකෘතියක් පමණක් වේ. නවීන රාජ්‍යය, එහි ආකෘතිය කුමක්වුවත්, එය ප්‍රධාන වශයෙන්ම ධනපති යන්ත්‍රයකි. ධනපතියන්ගේ රාජ්‍යයේ එය සමස්ත ජාතික ප්‍රාග්ධනයේ ජීවමාන සංඛේතයයි. එය නිශ්පාදනීය බලවේගයන් වැඩි වැඩියෙන් අත්පත් කරගන්නා තරමට එය වඩ වඩාත් ජාතික ධනපති තත්වයට පත් වෙයි. එය සූරාකන පුරවැසියන් සංඛ්‍යාව වැඩි කරයි, කම්කරුවෝ වේතන කම්කරුවන් වශයෙන් නිර්ධන පංතිකයන්ම වශයෙන් පසුවෙති. එය එමගින් එක්තරා දුරකට උච්ඡස්ථානයකට පත් වෙයි. නමුත් උච්ඡස්ථානයට පැමිණි තැන එය ඇද වැටෙන්නේය. නිෂ්පාදන මාධ්‍යයන් රජයට හිමි වීමෙන් ඝට්ටනය විසදෙන්නේ නැත. නමුත් එය විසදීමේ මූලිකාංගයන් ඇති කරන ප්‍රායෝගික කොන්දේසි එය තුල ඇතිවී තිබේ.

මෙම විසදීම සමන්විත වනු හැක්කේ නවීන නිෂ්පාදනීය බලවේගයන්ගේ සමාජමය ස්වභාවය පිළිගැනීමෙන්ද එනිසාම සමාජමය කරන ලද නිෂ්පාදනීය මාධ්‍යයන් හා නිෂ්පාදනය හිමිකර ගැනීම සහ හුවමාරුව පිළිබද ක්‍රම අතර සංගතියක් ඇති කිරීමෙන් ද පමණකි. එමෙන්ම මෙය සිදුවිය හැක්කේ ද මුළු සමාජයම සමස්තයක් වශයෙන් කරන පාලනයක් හැර වෙනත් හැම පාලනයක්ම ඉක්මවා වර්ධනයවී තිබෙන නිෂ්පාදනීය බලවේගයන් විවෘත්ත ලෙසම හා එකඑල්ලේම සමාජය විසින් අත්පත් කර ගනු ලැබීමෙන් පමණකි. අද නිෂ්පාදනීය මාධ්‍යයන්ගේ හා නිෂ්පාදිතයන්ගේ සමාජමය ස්වභාවය නිෂ්පාදකයන්ට විරුද්ධව ප්‍රථික්‍රියාකාරී වේ. වාරික වශයෙන් සියළු නිෂ්පාදන හා හුවමාරු කටයුතු කඩාකප්පල් කර දමයි. අන්ධ ලෙස බලහත්කාර ලෙස හා විනාශකාරී ලෙස කටයතු කරන නීතියක් වශයෙන් පමණක් ක්‍රියාත්මක වෙයි. නමුත් නිෂ්පාදනීය බලවේගයන් සමාජය විසින් පවරා ගැනීමත් සමග නිෂ්පාදන මාධ්‍යයන්ගේ සහ නිෂ්පාදිත වල සමාජමය ස්වභාවය නිෂ්පාදකයන් විසින් සම්පූර්ණ වැටහීමෙන් යුතුව උපයෝජනය කර ගනු ලැබෙන නිසා, එය අවුල්කාරී ස වාරික බිද වැටීම් ඇති කරන බලවේගයක් වශයෙන් පෙනී සිටිනු වෙනුවට නිෂ්පාදනයේම ඉතාමත් බලවත් ලිවරය බවට පත්වන්නේය.

ක්‍රියාශීලිසමාජ බලවේගයන්ද හරියටම ස්වාභාවික බලවේගයන් මෙන්ම ක්‍රියාත්මක වෙති. අප ඒවා ගැන වැටහීමක් ඇති කර නොගන්නා තාක් කල් ඒවා ගැන සැලකිල්ලක් නොදක්වන තාක් කල් ඒවා අන්ධ බලහත්කාරී ලෙස සහ විනාශකාරී ලෙස ක්‍රියාත්මක වෙති. නමුත් අපට ඒවා ගැන වැටහීමක් ඇති කල අප ඒවායේ ක්‍රියාකාරීත්වය දිශානිතය හා ප්‍රතිඵල ගැන අවබෝධයක් ඇති කරගත් කල ඒවා අප නොතකා අපට විරුද්ධව ක්‍රියාත්මක වෙති. ඒතාක් ්වා යක්ෂ ස්වාමිවරුන්ගේ තත්වයෙන් එක්ව ක්‍රියා කරන නිෂ්පාදකයන්ගේ අතෙහි වන සුවච සේවකයින් බවට පරිවර්තනය කළ හැකි වේ. එහි ඇති වෙනස කුණාටුවෙහිදී වදින හෙණ සැර යෙහි ඇති විදුලි බලයේ විනාශකාරීත්වයක් විදුලි පණිවුඩ ස වෝල්ටීය චාපයෙහි ඇති පාලනයට යටත් විදුලි බලයත් අතර වෙනස බදුය,. එම වෙනස ලැව්ගින්නක් සහ මිනිසාගේ සේවයේ යෙදුනු ගින්දර අතර වෙනස බදුය. අද පවත්නා නිෂ්පනීය බලවේගයනගේ යථා ස්භාවය මෙසේ අවසානයේදී පිලිගැනීමත් හා සමග, ප්‍රජාවේ හා එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවයන්ට අනුකූල වු නිශ්චිත සැලැස්මක් අනුව නිෂ්පාදනය සමාජමය වශයෙන් හසුරනු ලැබීමට ඉඩදෙමින් නිෂ්පාදනය අරාජිකත්වය ඉවත්වෙයි. එවිට, නිෂ්පාදනය විසින් ප්‍රථමයෙන් නිෂ්පාදකයාද, ඊළගට හිමිකරගන්නාද වහලට ගනු ලබන ධනපති ක්‍රමය වෙනුවට, නවීන නිෂ්පාදන මාධ්‍යයන්ගේ ස්භාවය පදනම් කොටගත් නිෂ්පාදන හිමිකම් ක්‍රමයක් ආදේශ වේ. එක් අතකින් නිෂ්පාදනය පවත්වා ගැනීම සහ ව්‍යාප්ත කිරීමේ මාධ්‍ය වශයෙන් සෘජු සමාමය හිමිකර ගැනීමද, අනිත් අතට යැපීම් සහ බුක්ති විදීම් සදහා මාධ්‍ය වශයෙන් තනි පුද්ගල හිමිකර ගැනීමද ආදේශ වේ.

ධනපති නිෂ්පාදන ක්‍රමය ජනගහනයෙන් අති බහුතරය වඩ වඩාත්ම නිර්ධන තත්වයට පරිවර්ථනය කරන කල්හි එය කරන්නේ, ආත්ම විනාශයේ දඩුවම් පිලිබදව බල කිරීම යටතේ මෙම විප්ලවය සිදු කිරීමට බැදී සිටින ඒ බලවේග නිර්මාණය කිරීමය. දැනටමත් සමාජමය කර තිබෙන අති මහත් නිෂ්පාදනීය මාධ්‍යන් රාජ්‍ය දේපල බවට පරිවර්ථනය කිරීමට වැඩි වැඩියෙන් බලකරන එම බලවේගය ඒසේ කිරීමේදී එම විප්ලවය ඉටුකිරීමේ තම කාර්ය සොයා ගනී. නිර්ධන පංතිය දේශපාලන බලය අල්ලාගෙන නිෂ්පාදන මාධ්‍යයන් රාජ්‍ය දේපල බවට හරවයි. නමුත් එසේ කිරීමේදී එය නිර්ධන පංතිය වශයෙන් තමන්ම අහෝසි කර ගනී. සියළුම පංති වෙනස්කම් සහ පංති සතුරැතාවය අහෝසි කරයි. රජයක් හැටියට රජය ද අහෝසි කරයි. මේ දක්වා පංති සතුරුතාවයන් මත පදනම්ව පිහිටි සමාජයට රාජ්‍ය අවශ්‍ය විය. එහි අර්ථය නම් අදාළ වන අවස්ථාවේදී සූරාකෑමේ යෙදී සිටින විශේෂ පංතියේ සංවිධානයක්, නැතහොත් පවත්නා නිෂ්පාදන තත්වයන්ට බැහැරින් කෙරෙන ඇගිලි ගැසීම් වැලැක්වීම හා අදාළ නිෂ්පාදන ක්‍රමයට (වහල් ක්‍රමයට, ප්‍රවීන දාස ක්‍රමයට, වේතන කම්කරු ක්‍රමයට) ගැලපෙන පීඩාකාරී තත්වයන් යටතේ සූරාකනු ලබන පංතිය රදවා ගැනීම පිණිස සංවිධානයක් අවශ්‍ය වූ බවයි. රාජ්‍යය සමස්තයක් වශයෙන් මුළු සමාජයේම නියෝජිතයා විය. එය සමස්ත සමාජමය දෘෂ්‍යමාණ සංඛේතයක් ලෙසට ඒකස්ත කිරීමකි. නමුත් එය එසේ වූයේ එය අදාළ අවස්ථාවේ මුළු සමාජයම නියෝජනය කළ එම පංතියේ රාජ්‍යය වූ තාක්කල් පමණකි. ‍ෙපෟරාණික කාලයේ වහල් හිමි පුරවැසියන්ගේ රාජ්‍යයද මධ්‍යකාලීන යුගයේ රදළ ප්‍රධානීන්ගේ රජයද, අපගේම කාලයේ ධනපති පංතියේ රජයද එබදු රාජ්‍යයන් වෙති. අන්තිමේදී එය සමස්ත සමාජයේම සැබෑ නියෝජිතයා බවට පත්වූ කළ එය පැවතීමේ අවශ්‍යතාවය ද අහෝසි වන්නේය. යටත් කර තබා ගතයුතු සමාජ පංති නැතිව ගිය විට පංති පාලනයක් අපගේ නිෂ්පාදනයේ වර්ථමාන අරාජිකත්වය පදනම් කරගෙන පැවැත්ම සදහා තනි පද්ගල අරගලය සමගම එයින් පැණනගින සංඝට්ඨනයන් හා සීමාන්තික වාරයන් ඉවත් කළ විට මර්ධනය කිරීමට අවශ්‍ය වන යමක් ඉතිරි නොවන හෙයින් විශේෂ මර්ධනකාරී බලයක් එනම් රාජ්‍ය තිබීම තවදුරටත් අවශ්‍ය නොවේ. රාජ්‍ය සමාජයේ නියෝජිතයා වශයෙන් සංයුක්ත වීමට වන ප්‍රථම කාර්යය වන සමාජයේ නාමයෙන් නිෂ්පාදන මාධ්‍යයන් අත්පත් කර ගැනීම වනාහී එය රජය හැටියට ස්වාධීන වශයෙන් කරන අවසාන කටයුත්තද වන්නේය සමාජ සම්බන්ධකම් පිළිබද ක්ෂේත්‍රයන් එකක් පාසා රාජ්‍යයේ ඇගිලි ගැසීම අනවශ්‍ය දෙයක් බවට පත්වීමෙන් එය තමන්ම හැකිලී යන්නේය. පුද්ගලයන් ආණ්ඩු කිරීම වෙනුවට ද්‍රව්‍යයන් පාලනය කිරීමක්ද, නිෂ්පාදනීය ක්‍රියාදාමයන් හැසිරවීමක් ද ආදේශ වන්නේය. රාජ්‍ය අහෝසි කරනු නොලැබේ. එය හැකිලී යන්නේය. "නිදහස් ජනතා රාජ්‍යයක්"57 යන පාඨය සමහරක් විට උද්ඝෝෂකයින් විසින් භාවිතා කරනු ලැබීමේ සාධාරණත්වය ද එය සම්පූර්ණයෙම විද්‍යාත්මකව බලන කළ එහි ඇති අඩුපාඩු සහිත භාවයද හිටිවනම රාජ්‍ය අහෝසි කරන ලෙසට ඊනියා අරාජික වාදීන් කරන ඉල්ලීම් ද කොතරම් දුරට අගය කළ හැකි ද යන්න මෙයින් පැහැදිළි වේ. ධනපති නිෂ්පාදන ක්‍රමය අයිතිහාසික වශයෙන් පහළ වූ තැන් පටන් එක් එක් පුද්ගලයන් හා නිකායයන් ද විසින් ද අනාගත පරමාදර්ශයක් වශයෙන් සියළුම නිෂ්පාදන මාධ්‍යන් සමාජ සන්තක කර ගැනීම ගැන අඩු වැඩි වශයෙන් අපහැදිලි ලෙස සිහින මවා තිබේ. නමුත් එය ඉටුවිය හැකියාවක් බවට පත් වන්නේ එය ඓතිහාසික අවශ්‍යතාවයක් බවට පත්වන්නේ එය ඉටු වීම සදහා අවශ්‍ය තත්වයන් පහළ වී තිබෙතොත් පමණකි. අන් සෑම සමාජ ඉදිරි ගමණක් මෙන්ම එයද ක්‍රියාත්මක කළ හැක්කක් බවට පත් වන්නේ පංති තිබීම යනු යුක්තිය, සමාණාත්මතාවය ආදියට ප්‍රතිවිරෝධී බව මිනිසුන් වටහා ගැනීම නිසා හෝ පංති අහෝසි කිරීමට ඇති සෘජු කැමැත්ත නිසා හෝ යම් යම් ආර්ථික කොන්දේසි තිබීම හේතු කොටගෙනය. සමාජය සූරාකන පංතියකට හා සූරාකනු ලබන පංතියකට පාලක පංතියකට හා පීඩිත පංතියකට බෙදී වෙන්වීම ඉහත කාලයේ නිෂ්පාදනයෙහි ඇති වූ අඩු සහ සීමිත සංවර්ධයෙහි අවශ්‍ය ප්‍රථිපලයක් විය. සමාජයේ මුළු ශ්‍රමයෙන් ලබා ගත හැකි නිෂ්පාදනය සියළු දෙනාගේ පැවැත්ම සදහා අවශ්‍ය ප්‍රමාණය ඉක්වන්නේ ඉතාමත් සුළු වශයෙන් පමණක් වන තාක්ම එනිසාම, සමාජයේ සාමාජිකයන් අති බහුතරයෙහි මුළු කාලයම හෝ ඊට ඉතා ආසන්න කාලයක් ශ්‍රම කටයුතු යෙදෙන තාක්ම, ඒ තාක්කල්ම මෙම සමාජය අවශ්‍යයෙන්ම පංති වලට බෙදී පවති. තනිකරම ශ්‍රම දාසයන් මත අතිවිශාල බහුතරය සමග එක පෙළට සිටින්නාවූ සෘජු නිෂ්පාදනීය ශ්‍රම කටයුතු වලින් නිදහස්වූ සහ සමාජයේ පොදු කටයුතු ගැන රැකුම් බැලම් කරන, කම්කරැ පාලනය, රාජ්‍ය කටයුතු, නීති කටයුතු, විද්‍යා කටයුතු, කලා කටයතු ආදිය මෙහෙය වන්නා වූ පංතියක් පැන නගින්නේය. එනිසා මෙම පංති වලට බෙදී යාමේ අඩිතාලම වී ඇත්තේ ශ්‍රම විභජනය පිළිබද නීතියයි. එනමුත්, මෙම පංති වලට බෙදීම හිංසනය හා මංකොල්ලයද, කපටිකම හා රැවටිල්ලද මගින් ක්‍රියාත්මක කරනු ලැබීම එයින් වලකින්නේ නැත. පාලක පංතිය අධිපති බලතල ලබාගත් වහාම කම්කරැ පංතියට හානිදායක ආකාරයෙන් එහි බලය තහවුරු කර ගැනීමත්, එහි සමාජ නායකත්වය උත්සන්න ලෙස ජනතාව සූරාකෑමත් බවට හරවා ගැනීමත් එයින් වැලකෙන්නේ නැත. මෙයින් පෙනෙන ලෙසට, පංති වලට බෙදීමට යම් සාධාරණ ඓතිහාසික හේතුවක් තිබෙනම් එය එසේ පවතින්නේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ හා නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල හා නිශ්චිත සමාජ තත්වයන් යටතේ පමණෙකි. නවීන නිශ්පාදන බලවේගයන්ගේ පූර්ණ සංවර්ධනයෙන් එය අතුගෑවී යනු ඇත. එසේම, සමාජය පංති අහෝසි කිරීම සදහා, ඇත්ත වශයෙන්ම මෙම හෝ අනික් පාලක පංතියේ පැවැත්ම පමණක් නොව මොනම පාලක පංති්යක පැවැත්ම, එනම්, පංති ප්‍රභේදයේම පැවැත්ම යල් පීනු පරණ පරණ ඇබ්බැහි කමක් බවට පත් කළ ඓතිහාසික පරිනාම මට්ටමක් තිබීම අවශ්‍ය වේ. එසේම ඒ සදහා නිෂ්පාදන මාධයන් හා නිෂ්පාදිතයන් හිමිකර ගැනීමත්, ඒ සමගම දේශපාලන ආධිපත්තයත්, සංස්කෘතියේ ප්‍රධානත්වයත්, බුද්ධිමය නායකත්වයත්, සමාජයේ එක් විශේෂ පංතියක් විසින් අයත්කරගෙන තිබීම අනව්‍ශ්‍ය වන තරම් ද එපමනක් නොව, එසේ වීම ආර්ථික දේශපාලන සහ බුද්ධිමය වහයෙන් ද සංවර්ධනයට බාදකයක් වන තරම් ද මට්ටමකට නිෂ්පාදනයේ සංවර්ධනය ඉදිරියට ගෙන ගොස් තිබීම අවශ්‍ය වේ. මෙම අවස්ථාව දැන් උදාවී තිබේ. ධනපති පංතියේ දේශපාලන සහ බුද්ධිමය නායකත්වය දැන් තවදුරටත් ඔවුන්ටම පමණක් සීමාව රහසක් නොවෙ. සෑම දහ අවුරද්ධක් පාසාම ඔවුන්ගේ ආර්ථික බංකොලොත් බාවය නිති පතාම යලි යලිත් මතුවේ. සෑම අර්බුදයකදීම සමාජය ස්වකීය නීෂ්පාදනීය බලවේගයන්ගේ බරින් මිරිකී හුස්මගත නොහැකිව අසරණව පරිභෝජකයන් නොමැතිකම නිසා නිෂ්පාදකයිනට පාරිභෝජනය සදහා කිසිවක් නොමැති වීමේ විකාර ප්‍රථිවිරෝධයකට මුහුණ ලා සිටී. නිෂ්පාදන මාධ්‍යයන්ගේ ප්‍රසාරනීය බලවේගයන් එම මාධ්‍යන් හිරකර තබන ධනපති නිෂ්පාදන ක්‍රමයේ බන්ධනයන් පුපුරුවා දමයි. නීෂ්පාදනීය බලවේගයන් අඛන්ඩ හා නිරන්තරව වැඩිවන වේගයකින් සංවර්ධනය වීමත් ඒ හා සමගම නිෂ්පාදයේම සීමානොකළ තත්වයේ වැඩි වීමකුත් සදහා ඉටුවිය යුතුම පූර්ව කොන්දේසිය මෙම බන්ධනයන්ගෙන් නිදහස් වීමය. දැනට නිෂ්පාදනය අවහිර කර තබන කෘතිම සීමාවන් පමණක් නොව, දැනට නිෂ්පාදනය හා සමග අනිවාරණීය ලෙස අනුයාත වන හා අර්බුදයේදී උඡ්ස්ථානයට පත්වන නිෂ්පාදනීය බලවේග නියත ලෙසම නාස්ති කිරීම සහ විනාශ කර දැමීමද නිෂ්පාදන මාධ්‍යන් සමාජමය වශයෙන් සන්තක කරගැනීමෙන් කෙළවර වන්නේය. තවද අද පාලක පංතිවල හා ඒවායේ දේශපාලන නියෝජිතයන්ගේ අර්ථ විරහිත නස්තිකාර වියදම් නවත්වා දැමීමෙන්ද එය පොදු ජනකායගේ ප්‍රයෝජනය උදෙසා නිෂ්පාදන මාධ්‍යයන් හා නිෂ්පාදිතයන් මහා රැසක් මුදා හරියි. සමාජය කරන ලද නිස්පාදනයේ මාර්ගයෙන් සමාජයේ සෑම සාමාජිකයෙකු සදහාම, ද්‍රව්‍යමය වශයෙන් ප්‍රමාණවත් වන හා දිනෙන් දිනම වඩාත් පරිපූර්ණ වන පැවැත්මක් පමණක් නොව, ඔවුන්ගේ කායික හා මානසික සමත්කම් සියල්ලෙහිම නිදහස් සංවර්ධනය සහ ක්‍රියාකාරීත්වයද සහතික කන්නාවු පැවැත්මක් ලබා ගැනීමේ හැකියාව දැන් ප්‍රථම වතාවට මෙහි ඇත* (කෙසේ හෝ එය මෙහි ඇත. ධනපති බලපෑම යටතේ වුව, නවීන නිස්පාදන මාධ්‍යන්ගේ දැවැන්ත ප්‍රසාරණ බලවේගය ගැන දළ අවබෝධයක් දීමට සංඛ්‍යා කීපයක් ප්‍රයෝජනවත් වනු ඇත. ජිෆන් මහතා කියන අන්දමට මහා බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ සම්පූර්ණ ධනය පූර්ණ සංඛ්‍යා අනුව අදාළ වර්ශ වලදී මෙසේ විය.
1814 - පවුම් 220,00,00,000
1865 - පවුම් 610,00,00,000
1875 - පවුම් 850,00,00,000
අර්බුදයේදී නිෂ්පාදන මාධ්‍යන් හා නිෂ්පාදිතයන් නාස්ති කිරීම පිළිබද නිදර්ශනයක් වශයෙන් 1873, 1878 අර්බදයේදී ජර්මන් යකඩ කර්මාන්තයේ පමණක් සම්පූර්ණ අලාභය (1878 පෙබරවාරි 21 බර්ලින්) දෙවැනි ජර්මන් කාර්මික සම්මේලනයට දන්වන ලද පරිදි පවුම් 2,27,50,000 ක් විය.)

සමාජය විසින් නිෂ්පාදන මාධ්‍යන් අල්ලා ගනු ලැබීමත් හා සමගම වෙළද භාණ්ඩ නිෂ්පාදනය කෙළවර වේ. ඒ හා සමගම එක්වරම නිෂ්පාදකයා කෙරෙහි පාන ලද නිෂ්පාදිතයේ ආධිපත්‍යයද කෙළවර වේ. සමාජමය නිෂ්පාදනයේ ආරාජිකත්වය වෙනුවට ක්‍රමානුකූල නිශ්චිත සංවිධානය ආදේශ කෙරේ. තනි පුද්ගල පැවැත්ම සදහා කරන අරගලය අහෝසි වන්නේය. එවිට, ප්‍රථම වතාවට, මිනිසා, එක් අර්ථයකින්, අන්තිම වශයෙන් සත්ව රාජ්‍යයෙන් වෙන් කෙරෙන අතර ඔහු හුදු තිරිසන් තත්වයේ පැවැත්මෙන් සැබෑ මිනිස් තත්වයේ පැවැත්මට එළඹෙන්නේය. මිනිසා අවට ගැවසීගත් හා මේ දක්වා මිනිසා පාලනය කළ, ජීවන තත්වයන් පිළිබද මුළු ක්ෂේත්‍රයම දැන් මිනිසාගේ ආධිපත්‍යය හා පාලනයට එන්නේය. ඔහු ප්‍රථම වතාවට ස්වභාව ධර්මයේ සැබෑ විඥ්ඥාත ස්වාමියා වන්නේය. මෙතෙක් ස්වභාව ධර්මයේ නීති වශයෙන් මිනිසාට අන්‍යතර හා අධිපතිකම් පාන ආකාරයෙන් ඔහු හා මුහුණට මුහුණ ලා සිටි, ඔහුගේම සමාජ ක්‍රියාකාරීත්වයේ නීති එවිට සම්පූර්ණ අවබෝධයකින් උපයෝජනය කරගනු ලැබෙනු ඇත. ඔහු ඒවා ගැන සම්පූර්ණ දැණුමක් ලබාගනු ඇත. මේ දක්වා ස්වභාව ධර්මය හා ඉතිහාසය විසින් මිනිසා මත පටවන ලද අවශ්‍යතාවයක් වශයෙන් ඔහු ඉිදිරියේ නැගී සිටින ඔහුගේම සමාජ සංවිධානය දැන් ඔහුගේ නිදහස් කි්‍රයාකාරීත්වයේ ප්‍රථිපලයක් බවට පත් වේ. මෙතෙක් ඉතිහාසය පාළනය කල බාහිර වාස්තවික බලවේගයන් දැන් මිනිසාගේම පාලනය යටතේම ක්‍රියාත්මක වේ. ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද සමාජ සාධකයන් ප්‍රධාන වශයෙන් හා නිරතුරුවම වැඩෙන සාර්ථකත්වයෙන් යුතුව ඔහු බලාපොරොත්තුවන ප්‍රතිපල ගෙන එනු ඇත්තේ එතැන් සිට පමණකි. එය වනාහී අවශ්‍යතාවයේ රාජධානියේ සිට නිදහසේ රාජධානිය දක්වා මිනිසාගේ නැගීමයි.

ඓතිහාසීය පරිනාමය පිළිබද වූ අපගේ දළ සටහන කෙටියෙන් සම්පින්ඩනය කරමු.

I මධ්‍යකාලීන සමාජය- කුඩා පරිමාණ තනි පුද්ගල නිෂ්පාදනය නිෂ්පාදන මාධ්‍යන් තනි පුද්ගල උපයෝජන සදහා සකස් කර ඇත. එනිසා ක්‍රියාකාරීත්වය පෞරාණික, ආධායම් අඩු, සුළු හා අගුටුමිටි තත්වයේ පැවතුනි. නිෂ්පාදනය කෙරුනේ එක්කෝ නිෂ්පාදකයාගේම නැතහොත් ඔහුගේ රදළ ස්වාමියාගේ අප්‍රමාද පරිභෝජනය සදහාය. මෙම පාරිභෝජනයට වැඩි නිෂ්පාදනයක් වුවහොත් පමණක්, එම අතිරික්තය අලෙවිය සදහා ඉදිරිපත් කරනු ලැබීමෙන් එය හුවමාරුවට ප්‍රවිශ්ට වෙයි. එනිසා වෙළද භාණ්ඩ නිෂ්පාදනය ළදරු අවස්ථාවේ පැවතුනි. නමුත් ඒ වන විටම, පොදු ව‍ශයෙන් සමාජය නිෂ්පාදනයෙහි අරාජික භාවය එය තුළම කළල අවස්තා ස්වරෑපයෙන් පැවතුනි.

II ධනපති විප්ලවය - ප්‍රථමයෙන් සරළ සහයෝගීතාවය හා භාණ්ඩ තැනීමේ කර්මාන්තය මගින් කර්මාන්තයේ පරිවර්ථනයක් මේ දක්වා විසිරී තිබුණු නිෂ්පාදන මාර්ග අතිවිශාල කර්මාන්ත ශාලා තුළට සංඛෙද්‍රණය වීම එහි ප්‍රථිපලයක් වශයෙන් ඒවා තනි පුද්ගල නිෂ්පාදන මාර්ග වල සිට සමාජමය නිෂ්පාදන මාර්ග බවට පරිවර්තනය වීම - මෙම පරිවර්ථනය, සමස්ත හුවමාරු ක්‍රමය කෙරෙහි වෙනසක් ඇති නොකරයි. පැරණි හිමිකම් ක්‍රම දිගටම බලපවත්වයි. ධනපතියා එළිදකී: නිෂ්පාදන මාර්ගයන්ගේ හිමිකරුවා වශයෙන් පෙනී සිටින ඔහු, නිෂ්පාදිතයන් ද හිමිකරගෙන ඒවා වෙළද භාණ්ඩ වලට හරවයි. නිෂ්පාදනය සමාජ කටයුත්තක් බවට පත්වී තිබේ. හුවමාරුව හා හිමිකර ගැනීම තනි පුද්ගල ක්‍රියාවන්, එනම් තනි පුද්ගලයන්ගේ ක්‍රියාවන් බවට පත්වී තිබේ. ධනපතියා සමාජමය නිෂ්පාදිතය හිමිකර ගනී. අපගේ වර්තමාන සමාජයේ ඡලන ක්ෂේත්‍රය වූ සියළුම ප්‍රතිවිරෝධතාවයන් ජනිත කරන සහ නවීන කර්මාන්තය එළිදක්වන මූලික ප්‍රතිවිරෝධතාවය හට ගනී.

අ) නිෂ්පාදකයා නිෂ්පාදන මාධ්‍යන්ගෙන් වෙන් කිරීම. කම්කරුවාට ජීවිත කාලයටම වේතන ශ්‍රමයෙ දඩුවම නියම වේ. නිර්ධන පංතිය හා ධනපති පංතිය අතර සතුරුතාවය

ආ) වෙළද භාණ්ඩ නිෂ්පාදනය පාලනය කරන නීති බහුලත්වය වැඩීයාම සහ ඒවායේ ප්‍රභලත්වය වැඩි වීම. පාලනයෙන් තොර තරගය. තනි පැක්ටරිය තුළ සමාජමය සංවිධනය සහ සමස්තයක් වහයෙන් නිෂ්පාදනය සමාජමය රාජිකත්වය අතර ප්‍රථිවිරෝධතාවය.

ඇ) එක් අතකින්, එක් එක් තනි කර්මාන්ත කරැවාට අනිවාර්ය නීය වූ තරගය විසින් යන්ත්‍ර සූත්‍ර දියුණු කිරීම සහ ඊට අනුපූරකව ශ්‍රමිකයන් ඉවත් කිරීම නිරතුරුවම වර්ධනය වීම. අතිරේක කාර්මික හමුදාව. අනික් අතින් නිෂ්පාදනය සීමාවක් නැතිව ව්‍යාප්ත වීම. මෙය ද, තරගය යටතේ සෑම කර්මාන්ත කරුවෙක් සදහාම අනිවාර්ය වේ. දෙපැත්තෙන්ම පෙර නොඇසූවිරූ සේ නිෂ්පාදීනය බලවේගයන් සංවර්ධනය වීම, ඉල්ලුම අභිබවා යන සැපයුම, අධි නිෂ්පාදනය, වෙළද පොලවල් භාණ්ඩවලින් පිරී ඉතිරීයාම, සෑම දහ අවුරුද්ධකටම වරක් අර්බුදය විශම කවය: මෙහි නිෂ්පාදන මාධ්‍යයන්ගේ හා නිෂ්පාදිතයන්ගේ ආතිරික්තයක් - අනිත් තැන රැකියාව නැති හා යැපීම් මාර්ගයක් නොමැති ශ්‍රමිකයන් අතිරික්තයක් නමුත් සමාජ නිෂ්පාදනයේ සහ සමාජ යහ පැවැත්මේ මෙම ලීවරයන් දෙකට එක්ව කටයුතු කළ නොහැකිය. එයට හේතුව නිෂ්පාදන මාධ්‍යන් හා නිශ්පාදිතයන් ප්‍රථමයෙන් ප්‍රාග්ධනය බවට පත්වුවහොත් මිස නිෂ්පාදන මාධ්‍යන්ගේ ක්‍රියාත්මක වීම හා නිෂ්පාදිතයන්ගේ සංසරණය ධනපති නිෂ්පාදන ක්‍රමය විසින් වලක්වන බැවිනි. තවද ඒවායේ අති බහුලත්වය නිසා ඒවා ප්‍රාග්ධනය බවට පරිවර්ථනය වීමද වැලකේ. මෙම ප්‍රතිවිරෝධතාවය අර්ථ විරහිත වන තරමට වර්ධනය වී තිබේ. හුවමාරු ආකෘතියට විරුද්ධව කැරළි ගසමින් නිෂ්පාදන ක්‍රමය නැගී සිටී. ධනපති පංතියට ඔවුන්ගේම සමාජ නිෂ්පාදනීය බලවේගයන් හසුරුවාගත නොහැකි වීම සම්බන්ධයෙන් ඔවුහු වැරදිකරුවන් වෙති.

ඈ) නිෂ්පාදනීය බලවේගයන්ගේ සමාජමය සවභාවය අර්ධ වශයෙන් පිළිගැනීම ධනපති පංතිය මත බලෙන්ම පැටවීම නිෂ්පාදනය හා පණිවිඩ හුවමාරුව සදහා වූ මහා ආයතන පළමුව බද්ධ ව්‍යාපාර වස්තු සමාගම ද, පසුව සංගත ව්‍යාපාරද ඊළගට රජයද මගින් අත්පත් කර ගැනීම ධනපති පංතිය අනවශ්‍ය පංතියක් බව පැහැදිළි වේ. දැන් ඔවුන්ගේ සියළුම සමාජමය කාර්යයන් ඉටුකරනු ලබන්නේ වේතන ලබන සේවකයන් විසිනි.

III නිර්ධන පංති විප්ලවය - ප්‍රතිවිරෝධතාවය විසදීම නිර්ධන පංතිය දේශපාලන බලය අල්වා ගනිමින් මේ මාර්ගයෙන් ධනපති පංති අතින් ලිස්සායන සමාජමය වූ නිෂ්පාදන මාර්ග මහජන දේපල බවට පත් වෙයි. නිර්ධන පංතියේ මෙම ක්‍රියාව මගින් නිෂ්පාදන මාර්ග මෙතෙක් දැරූ ප්‍රාග්ධන ස්වභාවයෙන් ඒවා නිදහස්කර ඒවායේ සමාජමය ස්වරූපයට අංගසම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමේ සම්පූර්ණ නිදහස සලසා දෙනු ලැබේ. එතැන් පටන් කළින් සකස් කරගත් සැකැස්මක් අනුව සමාජමය ලෙස නිෂ්පාදනය කළ හැකි වේ. නිෂ්පාදනයේ සංවර්ධනය නිසා සමාජයේ විවිධ පංති පැවතීම මෙතැන්පටන් කල්ගිය ඇබ්බැහි කමක් බවට පත්වේ. සමාජමය නිෂ්පාදනයේ අරාජිකත්වය පහව යන අනුපාතය අනුව රාජ්‍යයේ දේශපාලන අධිකාරයද හැකිලී යන්නේය. අන්තිමේදී තමන්ගේම සමාජ සංවිධානයේ ස්වාමීත්වයට එළඹෙන මිනිසා ඒ අතරම ස්වභාව ධර්මයට ද අධිපති වෙයි. ඔහු ඔහුගේම ස්වාමියා වෙයි. - නිදහස් වෙයි. නවීන නිර්ධන පංතියේ ඓතිහාසීය කාර්ය භාරය වී තිබෙන්නේ මෙම විශ්වීය විමුක්තිය පිළිබද කාර්ය ඉටු කිරීමයි. නිර්ධන පංති ව්‍යාපාරයේ න්‍යායික ප්‍රකාශනය වූ විද්‍යාත්මක සමාජවාදයේ කර්තව්‍යය නම් මෙම කාර්යයට අදාළ ඓතිහාසික කොන්දේසි අංග සම්පුර්ණ ලෙස වටහා ගැනීම හා ඒ අනුව එහි ස්වභාවයම වටහා ගැනීම ද දැනට පීඩිතව සිටින නිර්ධන පංතියට ඉටු කිරීමට පැවරුණු මෙම බාරධූර කාර්ය පිළිබද කොන්දේසි හා අරථය ගැන එයට සම්පූර්ණ දැණුමක් දීමද වන්නේය.

 

සටහන්

[52] මෙයින් වැදගත් සොයාගැනිම වූයේ ක්‍රිස්ටෝෆර් කොලොම්බස් 1492 දී ඇමරිකාව සොයා ගැනීම සහ පෘතුගීසි නාවික වස්කො ද ගාමා 1498 දී ඉන්දියාවට මුහුදු මාර්ගය සොයා ගැනීමය.

[53] මෙහි සදහන් කර ඇත්තේ, ඉන්දියාව සහ ඇමරිකාව සමග වෙළදාමේ මුල්තැන සදහාද, යටත් විජිත වෙළද පළවල් අල්ලා ගැනීම සදහාද, ප්‍රධාන යුරෝපීය බලවතුන් අතර 17 වැනි සහ 18 වැනි ශතවර්ශයේ කෙරුණු යුද්ධ ගැනය. ප්‍රථමයෙන් ප්‍රති පාක්ෂිකයන් වූයේ එංගලන්තය හා ඕලන්දයයි. (ඒවා අතර නියම වෙළද යුද්ධ වූයේ 1652-1654, 1664-1667 හා 1672-1674 වර්ෂවල කෙරුණු ඒවාය) පසුව තීරණාත්මක අරගල සිදු වූයේ බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අතරය. මේ යුද්ධ සියල්ලෙන්ම බ්‍රිතාන්‍ය ජයග්‍රාහී විය. ඒ අනුව 18 වැනි ශතවර්ෂය අවසාන වන විට මුළු ලෝකයේ මෙන්ම වෙළදාම එය අතට සංකේන්ද්‍රණය කරගෙන තිබුනේය.

[54] එංගල්ස් මෙය උපුටා දක්වන්නේ "ප්‍රාග්ධනය", 1 වැනි වෙළුමෙනි.

[55] කාල් මාක්ස් "ප්‍රාග්ධනය", 1 වැනි වෙළුම, 13 වැනි පරිච්ඡේදය, "යන්ත්‍ර සහ මහා පරිමාණ කර්මාන්ත".

[56] Seehandlung (මුහුදු මාර්ග වෙළද සමාගම) – 1772 දී ප්‍රශියාවේ පිහිටුවන ලද වානිජ - ණයදෙන සමිතියකි. රජයේ විශේෂ සැලකිල්ල හිමිව තිබූ මෙම සමිතිය එය ප්‍රයෝජනයට ගනිමින් රජයට විශාල ණය මුදල් සැපයුවේය. ඒ අනුව එම සමිතිය රජයට මුදල් සපයන බැංකුව හා බ්‍රොකර්වරයා බවට පත්විය. 1904 දී එය ප්‍රශියන් රාජ්‍ය බැංකුව බවට පරිවර්ථනය කරන ලදි.

[57] "නිදහස් ජනතා රාජ්‍යය" - යනු 1870 ගණන්වල ජර්මන් සමාජ - ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ වැඩපිළිවෙලට ඇතුලත් හා ඔවුන් එකළ භාවිතා කළ උද්යෝග පාඨයක් විය.