වී. අයි. ලෙනින්
1919 ජූලි මස 11 වැනි දින ස්වෙර්ද්ලෝව් විශ්ව විද්‍යාලයෙහිදී
ඉදිරිපත් කරන ලද
දේශනයකි.
අනුවාදය :- උ. මු. අබයරත්න
සිංහල අනුවාදය, ප්‍රගති ප්‍රකාශක මන්දිරය, මොස්කව් 1981
සහෝදරවරුණි, ඔබ සම්මතකරගෙන තිබෙන සහ මාවෙත දන්වා ඇති වැඩපිළිවෙල අනුව අදට නියමිත කතාවෙහි මාතෘකාව රාජ්‍යය යන්නය. ඔබ දැනටමත් මෙම මාතෘකාව ගැන කොතරම් දුරට දන්නේ ද යනු මා දන්නේ නැත. මා කල්පනාකරන හැටියට ඔබේ පාඨමාලාවන් ආරම්භවූයේ මේ මෑතදීය. ඒ අනුව ඔබ මෙම විෂයගැන ක්‍රමානුකූල ලෙස උගෙන ගැනීමට ආරම්භ කරන අවස්ථාව මෙය වන්නට පිළිවන. එය එසේනම්, මෙම අමාරු මාතෘකාව ගැන මා කරන ප්‍රථම දේශනයෙන් මා කරන විස්තරය මගේ අසන්නන් බොහෝ දෙනෙකුට අවශ්‍යතරම් පැහැදිළි සහ වටහාගත හැකි ආකාරයෙන් කිරීමට මට නුපුළුවන් වන්නට ඉඩ තිබේ. එය එසේ වුවහොත්, එයින් කැළඹීමට පත් නොවන ලෙස මම ඔබට කියමි. එසේ කියන්නේ රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නය ඉතාමත් සංකීර්ණ හා දුෂ්කර මාතෘකාවක් බැවිනි. සමහර විට ධනපති උගතුන්, ලේඛකයින් දාර්ශනිකයින් විසින් අන්කවර ප්‍රශ්නයකටත් වඩා ව්‍යාකූළ කරන ලද්දේ මෙයයි. එනිසා, එක කෙටි දේශනයකින්, එක සැසිවාරයකින් මෙම මාතෘකාව ගැන හොඳ අවබෝධයක් ලබාගත හැකියැයි අපේක්ෂා කළ යුතු නොවේ. මෙම මාතෘකාව ගැන ප්‍රථම කතාවෙන් පසුව, ඔබට නොවැටහුණ, නැතහොත් ඔබට පැහැදිළි නොවන ඡේදයන් ගැන සටහන් තබා ගැනීම ඔබ කළ යුතුය. අනතුරුව, එම නොවැටහුණ කරුණ ගැන කියවීම සහ දේශන සහ කතාවලට සවන් දීම යන දෙවිදියෙන්ම ඒවා පිළිබඳව වැඩිදුර විස්තර සහ පැහැදිළි කිරීම් ලබා ගැනීම පිණිස දෙවැනි, තුන්වැනි හා හතරවැනි වරටත් ඔබ නැවතත් ඒ කෙරෙහි යොමු විය යුතුය. අපට නැවත වරක් හමුවිය හැකියැයි මම බලාපොරොත්තු වෙමි. එවිට අතිරේක ප්‍රශ්න සියල්ල ගැන අදහස් හුවමාරැ කර ගැනීමටත්, වඩාත් නොපැහැදිළි වූ කරුණු මොනවාදැයි බැලීමටත්, අපට හැකිවනු ඇත. කතා හා දේශනවගට කන් දීමට අමතරව මාක්ස්ගේ හා එංගල්ස්ගේ කෘති අතුරෙන් යටත් පිරිසෙන් ඉතාමත් වැදගත් ඒවා ස්වල්පයක් හෝ කියවීමටද ඔබ කාලය මිඩංගු කරනු ඇතැයි මම තවදුරටත් බලාපොරොත්තු වෙමි. සෝවියට් හා පක්ෂ පාසල් ශිෂ්‍යයින් සඳහා වූ ඔබගේ පුස්තකාලයෙන් ලබාගත හැකි පොත් සහ අත්පොත් අතර මෙම ඉතාමත් වැදගත් කෘති ඇතැයි යනු මම නිසැකව විශ්වාස කරමි. නැවතත්, විවරණය වටහා ගැනීමේ අපහසුතාවයන් නිසා ඔබ මුල්වරම එයින් විමතියට පත් නොවිය යුතු බව කියන්නෙමි. මුල්වර කියවීමේදී පැහැදිළි නොවන දෙය දෙවනවර කියවන විට පැහැදිළි වනු ඇත. එසේ නැතහොත් පසුව තරමක් වෙනස් පැත්තකින් ප්‍රශ්නය වෙත සමීප වන කළ ඔබට එය වැටහෙනු ඇත. මෙම ප්‍රශ්නය ඉතාමත් සංකීර්ණ නිසා සහ ධනපති උගතුන් හා ලේඛකයන් එය බොහෝ සේ ව්‍යාකූල කර තිබෙන නිසා, එය ගැන බරපතල ලෙස අධ්‍යයනය කිරීමට සහ ස්වාධීන ලෙස එය අවබෝධ කර ගැනීමට අපේක්ෂා කරන අයෙක්, එය ගැන පැහැදිළි සහ හොඳ වැටහීමක් ලබා ගනු සඳහා ප්‍රශ්නයට කිහිපවරක්ම පහරදිය යුතු බවත්, නැවත නැවතත් එය වෙත හැරෙමින් විවිධ පැතිවලින් එය සලකා බැලිය යුතු බවත්, මම නැවතත් කියමි. එය සියළුම දේශපාලනයට පදනම් වන මූලික ප්‍රශ්නයක් වන නිසා සහ වර්තමානය වැනි කුණාටු සහිත හා විප්ලවීය කාළ වලදී පමණක් නොව ඉතාමත් සාමකාමී කාළවලදී පවා, ඕනෑම ආර්ථික හා දේශපාලන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඕනෑම ප්‍රවෘත්ති පත්‍රයකින් සෑම දිනකදීම ඔබට හමුවනු ඇති ප්‍රශ්නයක් වන නිසා, එය වෙත ආපසු හැරී ඒම වඩාත් පඑසුවේ. සෑම දිනකදීම එක හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් ඔබ මෙම ප්‍රශ්නය වෙත ආපසු එනු ඇත. රාජ්‍ය යනු කුමක්ද? එහි ඇති වැදගත්කම කුමක්ද? අපගේ පක්ෂය, එනම්, ධනපති ක්‍රමය පෙරළා දැමීමට සටන් කරන පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය එය කෙරෙහි දක්ව ආකල්පය කුමක්ද? ඒහා සම්බන්ධයෙන් ප්‍රධාන වන දෙය මෙයයි.ඉතාමත් විවිධාකාර අවස්ථාවලදී, ඉතාමත් අවශේෂ ප්‍රශ්නවලට අදාළව, ඉතාමත් අනපේක්ෂිත කරුණුවලට අදාළව සහ ප්‍රථිපාක්ෂිකයන් සමඟ කරන සාකච්ඡා වලදී හා විවාද වලදී ඔබට මෙම ප්‍රශ්නය ඔබට මෙම ප්‍රශ්නය හමුවනු ඇති නිසා ඔබ ඒ ගැන කියවන දෙයින් සහ අසන කතා හා දේශන වලින්, එය වෙත ස්වාධීන ලෙස සමීප වීමේ හැකියාවක් ඔබ ඇතිකර ගත යුතුය. ඔබගේ අවබෝධය ස්ථීර එකකැයි ද, ඕනෑම කෙනෙකුට විරුද්ධව ඕනෑම විටක සාර්ථක ලෙස එය ආරක්ෂා කිරීමෙහි යෙදීමට ඔබට හැකිවනු ඇතැයිද, ඔබට සිතාගත හැක්කේ මෙම ප්‍රශ්නය හා සම්බන්ධයෙන් ස්වාධීන ලෙස ඔබගේ මඟ සොයා ගැනීමට ඔබ උගෙනගත් පසු පමණෙකි.
මෙම සක්ෂිප්ත අදහස් කීපය ඔබ හමුවේ තැබිමෙන් පසුව ප්‍රධාන ප්‍රශ්නය ගැන කරැණු ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. රාජ්‍ය යනු කුමක්ද? එය උද්ගත වූයේ කෙසේද? ධනති ක්‍රමය සම්පූර්ණයෙන්ම පෙරළා දැමීමට සටන් කරන කම්කරු පංතියේ පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය රාජ්‍ය කෙරෙහි දැක්විය යුතු ආකල්පය මූලික වශයෙන් කුමක් විය යුතුද?
රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නය තරම්, ධනපති විද්‍යාව, දර්ශනය, නීති විද්‍යාව, දේශපාලන අර්ථ ශාස්ත්‍රය හා පුවත්පත් කලාව විසින් සිතාමතාම සහ නොදැනුවත්වද ව්‍යාකූල කරන ලද වෙනත් ප්‍රශ්නයක් ඔබට සොයාගත නොහැකිවනු ඇතැයි මම මුලින් කීවෙමි. අද දක්වාම බොහොවිට එය ආගම් ප්‍රශ්නය සමඟ පටලවනු ලැබේ. ආගමික ධර්මය අදහන අය (ඔවුන් එසේ කිරීම බලාපොරොත්තු විය හැකිය.) පමණක් නොව, තමන් ආගමික දුර්මත වලින් නිදහස් යැයි සිතන අය පවා, රාජ්‍ය දේවත්වයට අයත් දෙයකැයිද, අද්භූත දෙයකැයිද, එය මනුෂ්‍ය අර්ථයට අයත් නැති හා මිනිසාට පිටස්තරින් දෙන ලද කිසියම් දෙයක් ජනතාවට ප්‍රධානය කරන, නැතහොත්, ප්‍රධානය කිරීමට තිබෙන එසේත් නැතහොත්, ගෙන එන දේව සම්භවයක් ඇති බලවේගයකැයිද, කියන ධර්මයක් බිහි කිරීමට උත්සාහ කරමින් රාජ්‍ය හා සම්බන්ධ නිශ්චිත ප්‍රශ්නය ව්‍යාකූල කරති. ඔවුන් බිහි කිරීමට උත්සාහ කරන එම ධර්මය බොහෝවිට දෘෂ්ටිමය, දාර්ශනික ප්‍රවේශයක් සහ තර්ක සහිත සංකීර්ණ එකකි. මෙම ධර්මය සූරාකන පංතිවල, ඉඩම් හිමියන්ගේ සහ ධනපතියන්ගේ උවමනාවන් සමඟ ඉතාමත් තදින් බැදී තිබෙන බවත්, එය ඔවුන්ගේ උවමනාවන් ඉටු කිරීමට ඉටු කිරීමට කැපවී තිබෙන බවත්, කිව යුතුය. ධනපති ක්‍රමය නියෝජනය කරන මහත්වරුන්ගේ සිරිත්, අදහස් සහ විද්‍යාව මෙම ධර්මය සිය ලඟම පාරගමනය කොට ඇත. එම නිසා එම ධර්මයේ සටහන් ලකුණු ඔබට සෑම අතින්ම මුණ ගැසෙනු ඇත. රාජ්‍ය ගැන තමන්ට බුද්ධිමත් දෘෂ්ටියක් අනුව සැලකිය හැකියැයි මෙන්ෂෙවික්වරුන් සහ එස්එර්වරුන්* (මෙන්ෂෙවික්වරු - රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙහි වූ සුළු ධනපති අවස්ථාවාදී ප්‍රවනතාවයෙහි අනුගාමිකයෝය. ඔවුහු කම්කරු පංතිය මත ධනපති බලපෑමක් ඇති කළහ. / එස්එර්වරු - 1901 – 1902 දී බිහිවූ, සුළු ධනේශ්වර පක්ෂයක් වූ සමාජ - විප්ලවවාදී පක්ෂයේ සාමාජිකයෝ වූහ. 1917 දී ප්‍රතිවිප්ලවයේ පැත්ත ගත්හ. - සංස්කාරක) විශ්වාස කරතත් හා ඔවුන් ආගමික දුර්මතවල බලපෑමට හසුව ඇතැයි යන අදහස ඔවුන් කොපයෙන් ඉවත ලතත්, ඔවුන් පවා රාජ්‍ය සම්බන්ධයෙන් දරණ අදහසෙහිදීද, ඔබට එම ධර්මයේ සටහන් ලකුණු හමුවන්නේය. මෙම ප්‍රශ්නය අන්කවර ප්‍රශ්නයකටත් වඩා පාලක පංතිවල උවමනාවන් කෙරෙහි බලපාන නිසා (ඒ අතින් එය දෙවැනි වන්නේ ආර්ථික විද්‍යාවේ අත්තිවාරම්වලට පමණකි.) එය ව්‍යාකූල කර සහ සංකීර්ණකර තිබේ. සමාජ වරප්‍රසාදයන් තිබීම, සූරාකෑම පැවතීම සහ ධනපති ක්‍රමයේ පැවැත්ම යුක්ති යුක්ත බවක් පෙන්වීම සඳහා රාජ්‍ය පිළිබඳ ධර්මයක් ප්‍රයෝජනවත් වන්නේය. මෙම ප්‍රශ්නයේදී අපක්ෂපාතීත්වය අපේක්ෂා කිරීමත්, තමන් විද්‍යාත්මක යැයි කියාගන්නා අය මෙම විෂය ගැන පිරිසිදු විද්‍යාත්මක අදහසක් බවට ප්‍රකාශ කිරීමෙහි සමත් වෙතැයි සිතීමත්, බලවත් වරදක් වන්නේ එබැවිනි. රාජ්‍ය ගැන, රාජ්‍ය පිළිබඳව න්‍යාය ගැන වූ මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔබට වඩාත් හොඳ අවබෝධයක් ලැබුණු පසු හා ඔබ ඒ ගැන වඩාත් ගැඹුරට අධ්‍යයනය කළ පසු විවිධ පංති අතර කෙරෙන අරගලය ඔබට නිතරම එතුළින් පෙණෙනු ඇත. එම අරගලය පිළිබිඹු වන්නේ, නතහොත් ප්‍රකාශ වන්නේ රාජ්‍ය පිළිබඳ අදහස් මුල්කොටගෙන, රාජ්‍යයේ කාර්ය කොටස සහ එහි වැදගත්කම ගැන කරන තක්සේරුව මුල්කොටගෙන සිදුවන ඝට්ටනයෙනි.
හැකිතාක් දුරට විද්‍යාත්මක ලෙස මෙම ප්‍රශ්නය වෙත ලඟාවනු පිණිස, රාජ්‍යයේ ඉතිහාසය, එහි උද්ගමනය හා සංවර්ධනය යටත් පිරිසෙයින් ඉක්මන් බැලුම් හෝ හෙළිය යුතුය. සමාජ විද්‍යා ප්‍රශ්නයකදී ඉතාමත් විශ්වාසදාය දෙයද, මෙම ප්‍රශ්නය වෙත නිවැරදි ලෙස සමීප වීමේ සහ විස්තර කරුණු රාශියක් අතර, නැතහොත්, ඝට්ටනය වන මතවල ඇති බහුලත්වය නිසා මංමුලා නොවීමේ පුරුද්ධ ඇතිකර ගනු පිණිස ඉතාමත් අවශ්‍ය දෙයද වන්නේත්, අයෙක් මෙම ප්‍රශ්නය වෙත විද්‍යාත්මක ලෙස සඟාවීමට නම් ඉතාමත් වැදගත් වන්නේත්, පතුලෙහි ඇති ඓතිහාසික සම්බන්ධය අමතක නොකිරීමය. නියමිත ප්‍රපංචයක් ඉතිහාසයේදී උද්ගත වූයේ කෙසේද? එහි සංවර්ධන අවධි මොනවාද යන ස්ථාවරයෙන් සෑම ප්‍රශ්නයක්ම පරීක්ෂා කිරීම හා අද එය ගෙන තිබෙන ස්වරූපය එහි සංවර්ධයෙහි ස්ථාවරයෙන් පරීක්ෂා කිරීමය.
මෙම ප්‍රශ්නය අධ්‍යයනය කරන විටඔබ එංගල්ස්ගේ “පවුල පෟද්ගලික දේපළ සහ රාජ්‍ය ඇතිවූ හැටි” යන කෘතිය කියවා වටහා ගනු ඇතැයි මම අපේක්ෂා කරමි. මෙය නවීන සමාජවාදයේ මුල් කෘතීන්ගෙන් එකකි. එහි සෑම වගන්තියක්ම ඓතිහාසික හා දේශපාලන කරුණු සම්භාරයක් මත පදනම් වී ඇතැයිද, නොසැලකිල්ලෙන් නොකියන ලදැයිද යන විශ්වාසයෙන් යුතුව පිළිගත හැකිව තිබේ. මෙම කෘතියෙහි සෑම කොටසක්ම සමාන සේ සමාන සේ සරල හා සුබෝධ ආකාරයෙන් විස්තර කර නැතැයිද යන්න ගැන සැකයක් නැත. පාඨකයාට ඉතිහාසය සහ ආර්ථික විද්‍යාව ගැන එක්තරා දැනුමක් ඇතැයි එම කොටස් සමහරකින් අපේක්ෂා කෙරේ. නමුත් මෙම කෘතිය කියවූ විට ඔබට එකවරම එය නොවැටහේනම්, ඒ ගැන කැළඹිල්ලට පත් නොවන ලෙස මම නැවතත් ඔබට මතක්කරමි. එය එකවරම වටහාගත හැක්කේ ඉතා ස්වල්ප දෙනෙකුට පමණකි. නමුත් ඔබගේ උනන්දුව කිතිකැවුනු පසු, නැවතත් ඒ වෙත යොමුවුණ පසු එම කෘතියම නොවේනම්, ඉන් වැඩිකොටසක් ඔබට වටහා ගනු හැකිවනු ඇත. මා මෙම කෘතිය ගැන සඳහන් කරන්නේ, එය, ඉහත සඳහන් අර්ථයෙන් ප්‍රශ්නය වෙත නිවැරදි සමීපවීමක් පෙන්නුම් කරන හෙයිනි. එය ආරම්භ වන්නේ රාජ්‍ය ඇතිවූ සැටි ඉදිරිපත් කරන කෙටි ඓතිහාසීය විස්තරයකිනි.
අන් සෑම ප්‍රශ්නයකදී මෙන්ම - නිදසුන් ලෙසට ධනපති ක්‍රමයේ, මිනිසා විසින් මින්සා සූරාකෑමේ ආරම්භයත්, සමාජවාදය, එය උද්ගතවූ ආකාරය හා එය උද්ගතවීමට හේතු වූ කොන්දේසිත්, පිළිබඳ ප්‍රශ්න වලදී මෙන්ම - මෙම ප්‍රශ්නයට ද බුද්ධිමත් ලෙස හා විශ්වාසයෙන් යුතුව සමීප වීමට අපට හැකිවන්නේ එහි සමස්ත සංවර්ධනයේ ඉතිහාසය දෙස ආපසු හැරී බලන්නෙමුනම් පමණකි. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ කළ රාජ්‍ය සැමදා පැවති දෙයක් නොවන බව සටහන් කරගත යුත්තේය. රාජ්‍ය නොපැවති කාලයක් විය. සමාජ පංතිවලට බෙදීම දක්නට ලැබෙන සෑම තැනකම, සූරාකන්නන් හා සූරාකනු ලබන්නන් දක්නට ලැබෙන සෑම තැනකම, එය දක්නට ලැබේ.
මිනිසා විසින් මිනිසා සූරාකනු ලැබීමේ ප්‍රථම ආකෘතිය මතුවීමට පෙර, පංති බෙදීමේ ප්‍රථම ආකෘති වලට - වහල් හිමියන් හා වහලුන් - පෙර පීතෘ මූලික පවුල, නැතහොත්, එය සමහර විට හඳුන්වන ලෙසට, වංශ පවුල පැවැත්තේය. (වංශ -ගෝත්‍රය; එකළ එක පරපුරේ ජනයා එකට විසූහ) මෙම ආදිකල්පික කාලවලට අදාළ වූ බොහෝ දුරට පැහැදිළි සටහන් ආදිකල්පික ජනතාවන්ගේ ජීවිතයෙහි රැදී ඉතිරිවිය. එනිසා ඔබ ආදිකල්පික ශිෂ්ටාචාරය ගැන ඕනෑම කෘතියක් ගන්නේ නම්, සමාජ වහල් හිමියන් හා වහලුන් ලෙසට බැදී නොපැවති, අඩු වැඩි වශයෙන් ආදිකල්පික කොමියුනිස්ට් ක්‍රමයට සමාන ක්‍රමයක් තිබුණු බව කියන, අඩු වැඩි වහයෙන් පැහැදිළි විස්තර, සලකුණු හා මතක සටහන් නොවරදවාම ඔබට හමුවනු ඇත. එම කාලවලදී රාජ්‍යයක් නොතිබිණි. ක්‍රමානුකූළ ලෙස බලහත්කාරය යෙදීම සහ ජනතාව බලහත්කාරයෙන් යටපත් කිරීම සඳහා විශේෂ යන්ත්‍රයක් එකළ ෙනාතිබුණි.රොජ්‍ය යනුවෙන් හඳුන්වනු ලබන්නේ එවැනි යන්ත්‍රයකි.
මිනිසුන් ම්ලේච්ඡත්වයට සමවූ - වර්තමාණ ශිෂ්ටාචාර මිනිස් සමාජයෙන් අවුරුදු දහස් ගණනකට ඉහත යුගයක- තවමත් සංවර්ධනයේ ඉතාමත් පහළ අවධිවල වූ කුඩා පවුල් කණ්ඩායම් වශයෙන් වෙසෙමින් සිටි ආදිකල්පික සමාජය වන විට, රාජ්‍යයක පැවැත්ම හඟවන සලකුණු තවමත් ඇතිව තිබුණේ නැත. චාරිත්‍රයේ බලවත්කම, වංශයේ වැඩිහිටියන් සතුව තිබුණු අධිකාරය, ගෞරවය සහ බලය අපට දක්නට ලැබේ. සමහර විට මෙම බලය ස්ත්‍රීන්ට දෙන ලද බව අපට දක්නට ලැබේ. එකළ ස්ත්‍රීන්ගේ තත්වය අද මෙන් පෑගීමට පත් සහ පීඩිත තත්වයක් නොවීය. නමුත්, පාලනය කිරීම සඳහා වෙන්වී සිටින්නා වූද, පාලනය සලකා හා ඒ උදෙසා තමන්ගේ පරිහරණය සඳහා කිසියම් බලකිරීමේ යන්ත්‍රයක්, නැතහොත්, වර්තමානයේ ඔබ කවුරුත් දන්නා ලෙසට අයුධ සන්නද්ධ හමුදා සේනාංක වලින්, සිරගෙවල් වලින් හා අන්‍යයන්ගේ කැමැත්ත බලහත්කාරය යොදා යටපත් කරන වෙනත් අවයව වලින් සෑදුනු රාජ්‍යයේ ප්‍රධාන ෙකාටස් වලින් නියෝජනය වන වැනි ප්‍රචන්ඩත්වයේ යන්ත්‍රයක් ක්‍රමානුකූල ලෙස හා ස්ථාවර ලෙස පවත්වා ගන්නා වූද, විශේෂ ජන කොට්ඨාශයක් අපට කොතැනක වත් දක්නට නොලැබේ.
ආගමික උගැන්වීම් ලෙසට හැදින්වෙන දෙයින්ද, ධනපති උගතුන් විසින් ඉදිරිපත් කරන සියුම් නිර්වචනයන්, දර්ශනවාදී තර්ක හා විවිධ මතිමතාන්තර කෙරෙන්ද, අපි බැහැර වන්නෙමු නම්, අපි මේවායින් ඉවත්ව කාරණයෙහි නියම හරය වෙත ලඟාවීමට උත්සාහ කරන්නෙමු නම්, රාජ්‍ය යනු ඇත්ත වශයෙන්ම සමස්තමය සමාජයෙන් පරිබාහිරව පවතින එවැනි පාලනය යන්ත්‍රයක් වන බව අපට පෙනෙනු ඇත. හුදෙක්ම ආණ්ඩු කිරීම පිණිස වෙන්වුණු සහ පාලනය කිරීම සඳහා අන්‍යයන්ගේ කැමැත්ත බලහත්කාරයෙන් යටපත් කිීමට විශේෂ බලකිරීමේ යන්ත්‍රයක්, එනම් සිරගෙවල්, විශේෂ බලපිරිස්, යුද්ධ හමුදා ආදිය පිළිබඳ අවශ්‍යතාවය ඇති, එවැනි විශේෂ මිනිසුන් කණ්ඩායමක් දක්නට ලැබෙන කළ - එවිට රාජ්‍ය දක්නා ලැබේ.
නමුත් රාජ්‍යයක් නොපැවති කාලයක් තිබුණේය. එකළ පොදු බැදීම හා මුළු ප්‍රජාවත්, විනය හා වැඩකටයුතු වල ක්‍රමවත් කමත්, පවත්වා ගන්නා ලද්දේ සිරිතෙහි හා සම්ප්‍රධායෙහි බලයද, වංශයෙහි වැඩිහිටියන්, නැතහොත්, ස්ත්‍රීන් - (එකළ ස්ත්‍රීන් පුරුෂයන් සමඟ සමාන තත්වයෙන් ගත් අවස්ථා බොහෝ වූවා පමණක් නොව, ස්ත්‍රීන් පුරුෂයන්ට වඩා උසස් තත්වයන් ගත් අවස්ථාද දුලබ නොවීය.) - සතුව තිබූ අධිකාරය, නැතහොත්, ගරුත්වයද මගිනි. සමාජය පංතිවලට බෙදීමක්, එනම්, එක් කොටසක් අන්‍යයන්ගේ ශ්‍රමය අත්පත් කර ගැනීමේ ස්ථීර හැකියාවක් ලබන පරිදි, ජනතාව කණ්ඩායම්වලට බෙදීමක් දක්නා ලද සෑම විටෙකම සහ සෑම තැනෙකම, ජනතාවට බලකීරීම සඳහා වූ විශේෂ යන්ත්‍රයක් ලෙසින් රාජ්‍ය උද්ගත විය.
තවද, සමාජය මෙසේ පංතිවලට බෙදීම ඉතිහාසයේ මූලික ප්‍රශ්නයක් ලෙසට නිතරම පැහැදිළි ලෙස සිත්හි දරාගත යුතු වේ. සියළුම රටවල සියළුම මිනිස් සමාජවල අවුරුදු දහස් ගණනක සංවර්ධනය පොදු වශයෙන් නියාම අනුකූල බවක්, ක්‍රමානුකූල බවක් හා සසංගත බවක් පෙන්නුම් කරයි. ඒ අනුව ප්‍රථමයෙන් අපට දක්නට ලැබෙන්නේ පංති රහිත සමාජයකි. ප්‍රාථමික, පීතෘ මූලික ආදිකල්පික සමාජයය. එහි ප්‍රභූවරුන් සිටියේ නැත. ඊළගට වහල් ක්‍රමය මත පදනම් වූ සමාජයක් අපට දක්නට ලැබුණි. එය වහල් හිමි සමාජයක් විය. මුළු මහත් ශිෂ්ටාචාර යුරෝපයම මෙම අවධිය ගත කළේය. අවුරුදු දෙදහසකට පෙර වහල් ක්‍රමය ඉතාමත් ප්‍රභලව පැවැත්තේය. ලෝකයේ අන් කොටස්වල ජනතාවගෙන් අති බහුතරයද මෙම අවධිය ගෙවා ඇත. දියුණවෙන් අඩු ජනතාවන් අතර වහල් ක්‍රමයේ සටහන් අද දක්වාම ඉතිරිවී ඇත්තේය. නිදසුනක් ලෙසට වර්ථමාන අප්‍රිකාවේ වහල් ආයතනය පවතින බව ඔබට දැක්ක හැකිය. වහල් හිමියන් සහ වහළුන් වශයෙන් බෙදීම ප්‍රථම වැදගත් පංති බෙදීම විය. මෙයින් මුලින් සඳහන් පංති කණ්ඩායමට සියළුම නිෂ්පාදන මාර්ග -ඉඩම් සහ එකළ ඉතාමත් නොදියුණු හා ආදිකල්පික තත්වයෙන් වුව පැවති උපකරණ - පමණක් නොව ජනයාද අයත් විය. මෙම කණ්ඩායම වහල් හිමියන් වශයෙන් හැදින් වුණි. ඒ අතර ශ්‍රමකාරී වූ සහ අන්‍යයන් සඳහා ශ්‍රමය සැපයූ අය වහලුන් ලෙසට හැදින්විනි.
ඉතිහාසයේ මෙම ආකෘතියට අනතුරුව තවත් ආකෘතියක්, එනම් වැඩවසම් ක්‍රමය ඇතිවිය. රටවල් බොහෝමයකම වැඩවසම් ක්‍රමය සංවර්ධනය වීමේදී එය ප්‍රවේණි දාස ක්‍රමය ලෙසට පරිණාම විය. එවිට සමාජය මූලික වශයෙන් බෙදුනේ වැඩවසම් අධිපතියන් සහ ගොවි ප්‍රවේණි දාසයන් යනුවෙනි. ජනතාව අතර සම්බන්ධකම් පිළිබඳ ආකෘතිය වෙනස් වුනේය. වහල් හිමියෝ වහලුන් තමන්ගේ දේපලක් සේ සැලකූහ. නීතිය විසින් මෙම අදහස ස්ථීර කරන ලද අතර, වහලා වහල් හිමියාට සම්පූර්ණ වශයෙන් අයත් භාණ්ඩයක් ලෙසට සලකන ලදී. ගොවි ප්‍රවේණි දාසයා හා සම්බන්ධයෙන් ව කළ, පංති පීඩනය සහ යටහත් බව ඔහු කෙරෙහි රැදී පැවති නමුත්, වැඩවසම් අධිපතියන්ගේ භාණ්ඩ මෙන් ගොවි ජනයා ඔවුන්ට අයත් සේ නොසලකන ලදී. වැඩවසම් අධිපතියාට තිබුනේ ගොවි ජනයාගේ ශ්‍රමය ලබාගැනීම සඳහා නැතහොත්, ඔවුන් ලවා කිසියම් සේවාවන් අනිවාර්ය ලෙස කරවා ගැනීම සඳහා අයිතියය. ව්‍යවහාරික වශයෙන් ගත් කළ, ඔබ දන්නා පරිදි වැඩවසම් ක්‍රමය වැඩිම කාලයක් ආරක්ෂාවී පැවතුනු සහ ඉතාමත් ගොරහැඩි ආකෘති ගත් රුසියාවේ එය, වහල් ක්‍රමයට වඩා කිසිසේත් වෙනස් නොවීය. වෙළඳ භාණ්, වෙළඳ භාණ්ඩ හුවමාරුව සහ මුදලේ බලය වර්ධනය වීම හේතුකොටගෙන ප්‍රාග්ධනයේ බලය උපත ලැබුවේය. දහ අටවැනි ශතවර්ෂය තුළ, නැතහොත් දහ අටවැනි වර්ෂය අග භාගයේ පටන් හා දහ නවවැනි ශතවර්ෂය තුළ ලෝකය මුළුල්ලේම විප්ලව ඇතිවිය. බටහිර රටවල් සියල්ලෙහිම වැඩවසම් ක්‍රමය අහෝසි කරන ලදී. මෙය සිදුවූ අවසාන රට රුසියාව විය. 1861 වර්ෂයේදී රුසියාවේද මූලික වෙනසක් සිදු විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එක සමාජ ක්‍රමයක් වෙනුවට තවත් එකක් ආදේශ විය. වැඩවසම් ක්‍රමය වෙනුවට ධනපති ක්‍රමය ආදේශ විය. ධනපති ක්‍රමය යටතේද පංති බෙදීමත්, එමෙන්ම, ප්‍රවේණි දාස ක්‍රමයෙ විවිධ ලක්ෂණ සහ නෂ්ටාවශේෂයනුත් රැදී පැවැත්තේය. නමුත් පංති බෙදීම මූලික වශයෙන් වෙනස් ආකෘතියක් ගත්තේය.
ධනපති රටවල් සියල්ලෙහිම ප්‍රාග්ධන හිමියෝ, එනම් ඉඩම් හිමියෝ සහ පැක්ටරි හිමයෝ, ජනගහනයෙන් ඉතා කුඩා අල්පතරයක් වූහ. දැනුදු එසේමය. ඔවුහු මුළු ජනතාවගේම ශ්‍රමය හැසිරවීමේ පූර්ණ බලතල ඇතිව සිටිති. ඒ අනුව ඔවුහු ශ්‍රමකරුවන් මුළු සමස්තයම හසුරුවති. පීඩනයට පත් කරති සහ සූරාකති. ඒ අතර එම ශ්‍රමකරුවන්ගෙන් බහුතරය, නිෂ්පාදන ක්‍රියාදාමයේදී තමන්ගේ කම්කරු අත්, එනම් ස්වකීය ශ්‍රමශක්තිය විකිණීමෙන් පමණක් ජීවනෝපාය ලබා ගන්නා නිර්ධනයෝ, වේතන කම්කරුවෝ වෙති. ධනපති ක්‍රමයට සංක්‍රමණය වීමත් සමග, වැඩවසම් කාලවලදී පෑගීමට පත් ගොවි ජනයාගෙන් කොටසක් (වැඩි පිරිස) නිර්ධනයන් බවට හා කොටසක් (අඩු පිරිස) තමන්ම ශ්‍රමකරුවන් කුලියට ගන්නා සහ ගම්බද ධනපති පංතියක් වන පොහොසත් ගොවීන් බවට පරිවර්තනය විය.
මෙම මූලික බෙදීම පිළිබඳ ස්ථාවරය අනුව ඔබ රාජ්‍ය ගැන විමසා බලන්නෙහි නම්, මා දැනටමත් කියා ඇති පරිදි, සමාජය පංති වලට බෙදීමට පෙර රාජ්‍ය නොපැවති බව ඔබට පෙනෙනු ඇත. නමුත්, සමාජයේ පංති බෙදුම උද්ගතවී තදින් තහවුරු වීම සමඟ, පංති සමාජය උද්ගත වීම සමඟ, රාජ්‍යයද උද්ගතවී තදින් තහවුරු විය. වහල් ක්‍රමය, වැඩවසම් ක්‍රමය හා ධනපති ක්‍රමය පසුකර ගිය, නැතහොත්, තවමත් පසුකර යමින් සිටින රටවල් දුසිම් ගණන් සහ සියගණන් ගැන ඉතිහාසය දන්නේය. මෙම රටවල් සෑම එකකම ඇතිවී ඇති ඓතිහාසීය වෙනස්වීම්ද, මිනිස් වර්ගයාගේ මෙම සංවර්ධනය නිසා, වහල් ක්‍රමයේ සිට. වැඩවසම් ක්‍රමය ඔස්සේ ධනපති ක්‍රමය කරා සහ ධනපති ක්‍රමයට විරුද්ධව කෙරෙන වර්ථමාන ලෝක ව්‍යාප්ත අරගලය කරා සංක්‍රමණය වීම නිසා, වහල් ක්‍රමය් සිට, වැඩවසම් ක්‍රමය ඔස්සේ ධනපති ක්‍රමය කරා සහ ධනපති ක්‍රමට විරුද්ධව කෙරෙන වර්තමාන ලෝක ව්‍යාප්ත අරගලය කරා සංක්‍රමනය වීම නිසා, ඇතිවූ දේශපාලන විපර්යාසයන් සියල්ලම හා විප්ලව සියල්ලමද, එසේ තිබියදී, රාජ්‍ය මතුවී ඒම ඔබට දැකගත හැකිවනු ඇත. සෑම විටම එය සමාජයෙන් බාහිරව පවතින කිසියම් අවයවයක් වූ අතර, එය තනිකරම, නැතහොත්, තනිකරම පාහේ එසේත් නැතහොත්, ප්‍රධාන වශයෙන් පාලනය කිරීමෙහි නියැලී ජන කණ්ඩායමකින් සමන්විත විය. මෙම යන්ත්‍රය, මෙම කණ්ඩායම, නිතරම බලකිරීමෙහි නියැලි ජන කණ්ඩායමකින් සමන්විත විය. මෙම යන්ත්‍රය, මෙම කණ්ඩායම, නිතරම බලකිරීමේ, එනම්, ශාරීරික හිංසනයේ මාධ්‍යයන් සතුව සිටින්නේ වෙයි. ජනතාව කෙරෙහි පාන මෙම හිංසනය ප්‍රකාශිත වන්නේ ආදිකල්පික මුගුරෙන්ද, වහල් යුගයේ වඩා හොදීන් තනාගත් ආයුධ වර්ග වලින්ද, මධ්‍යකාලීන සමයේ මතුවූ තුවක්කු වලින්ද, එසේ නැතහොත්, අවසාන වශයෙන්, විසිවැනි ශතවර්ශයේ කාර්මික ශිල්පීය විශ්මයන් වන හා සම්පූර්ණයෙන්ම නවීන කාර්මික ශිල්පයේ ජයග්‍රහණයන් මත පදනම්ව තිබෙන නවීන ආයුධ වලින්ද, වීම නිසා මෙහිලා විශේෂත්වයක් ඇති වනාකරයි. හිංසනයේ විධික්‍රම වෙනස් විය. නමුත් රාජ්‍යයක් පැවති සෑම විටකම, සෑම සමාජයකින්ම, පාලනය කරන පුද්ගලයන් කණ්ඩායමක් විය. ඔවුහු විධාන කළහ. අධිපතිකම් කළහ. ඔවුහු ඔවුන්ගේ බලය පවත්වා ගැනීම පිණිස ශාරීරික බලකිරීමේ යන්ත්‍රයක්, හිංසනයේ යන්ත්‍රයක් හිමිකරගෙන සිටියහ. එම හිංසනයේ යන්ත්‍රය අදාළ යුගයේ තාක්ෂණික මට්ටමට ගැලපෙන ආයුධ වලින් යුක්ත එකක් විය. රාජ්‍යයේ ස්වභාවය සහ වැදගත්කම කුමක්ද? යන ප්‍රශ්නයට පිලිතුරක් සොයා ගැනීමට අපට හැකිවන්නේ මෙම පොදු ප්‍රපංචයන් පරීක්ෂා කිරීමෙන්ද, පංති නොමැති කළ, සූරා කන්නන් හා සූරාකනු ලබන්නන් නොමැති කළ, රාජ්‍යයක් නොපැවතියේ මන්දැයි අපගෙන් අසා ගැනීමෙන්ද, පමණකි.- මේ මාර්ගයෙන් පමණකි.
රාජ්‍යය යනු එක් පංතියක් අභිබවා වෙනත් පංතියක පාලනය පවත්වා ගැනීම පිණිස වන යන්ත්‍රයකි. සමාජයේ පංති නැතිව තිබුණු කළ, ශ්‍රම ඵලදායකත්වය ඉතාමත් පහත් මට්ටමේ පැවති කළ ඉතාමත් අසංස්කෘතික හා ඉතාමත් ආධිකල්පික පැවැත්ම සඳහා වුව අවශ්‍ය දෑ ලබාගැනීම ආදීකල්පික මිනිසාට අපහසුව තිබූ කළ, අන් අය පාලනය කිරීම හා ඔවුන්ට අධිපතිකම ස්වකීය කා්ය කොටගත් විශේෂ පුද්ගල කණ්ඩායමක් මතුවී තිබුණේ නැත. මතුවිය හැකිව තිබුණේ නැත. රාජ්‍ය උද්ගතවීම අවශ්‍ය වූයේ, සමාජය පංති වලට බෙදීමේ ප්‍රථම ආකෘති මතුවූ කළ පමණකි. වහල් ක්‍රමය මතු වූ කළ, ඉතාමත් ප්‍රාථමික ගොවිතැන් ආකෘති වෙත .සංකේන්ද්‍රනය වීමෙන් කිසියම් සමාජ පංතියකට එක්තරා අතිරික්තයක් නිපදවා ගත හැකිවූ කළ, මෙම අතිරික්තය වහලාගේ ඉතාමත් දීන පැවැත්ම සඳහා නැතුවම බැරි නොවූ සහ වහල් හිමියා අතට පත්වු කළ, මේ ආකාරයෙන් වහල් හිමියන්ගේ මෙම පංතියේ පැවැත්ම සුරක්ෂිත වූ කළ පමණකි. වහල් හිමි පංතිය තහවුරු වීම පිණිස රාජ්‍ය උද්ගතවීම අවශ්‍ය විය.
ඒ අනුව එය, එනම්, වහල් හිමි රාජ්‍ය ඇති විය. වහලුන් යටත්කොට වහල් හිමියන්ට බලය හා පාලනය කිරීමේ හැකියාව දුන් යන්ත්‍රයක් විය. එකල සමාජය හා රාජ්‍යය යන දෙකම පැවතියේ ඒවා අද පවතිනවාට වඩා බොහෝ කුඩා පරිමාණයකිනි. එකළ සමාජය හා රාජ්‍ය සතුව තිබුණු ගමනාගමන හා පණිවුඩ හුවමාරු මාධ්‍යයන් මෙතෙකැයි කිව නොහැකි තරම් අයහපත් විය. වර්තමානයේ තිබෙන මෙමඑම මාධ්‍යයන් එකළ පැවතියේ නැත. කදු, ගංඟා සහ මුහුදු අදට වඩා අතිශයින් දුෂ්කර බාදක විය. එනිස අදට වඩා බොහෝ පටු භූමි ශාස්ත්‍ර සීමාවන් තුළ රාජ්‍ය හැඩගැසුනේය. තාක්ෂණික සීමා තුළ කොටු වූ සහ පටු ක්‍රියාකාරීත්ව ක්ෂේත්‍රයක් සහිත වූ රාජ්‍යයකට සේවය කළේය. එය එසේ වුවත්, වහල් ක්‍රමය යටතේ සිටින සේ වහලුන්ට බල කළ සහ සමාජයේ එක් කොටසක් එහි තවත් කොටසක පීඩනයට යටත් කළ යන්ත්‍රයක් එහි පැවතියේය. බලකිරීමේ ස්තීර යන්ත්‍රයක් නොමැතිව සමාජයෙන් වැඩි කොටසක් එහි අනික් කොටස සඳහා වැඩ කරන සේ එම වැඩි කොටසට බල කිරීම කිසිසේත් කළ නොහැකිය. පංති නොමැති වූ තාක්කල් මෙම ස්වභාවයේ යන්ත්‍රයක්ද නොවීය. පංති ඇතිවූ කළ, ඒ සෑම විටම හා සෑම තැනම, බෙදීම් වර්ධනය වී තහවුරු වීමත් සමඟ, විශේෂ ආයතනයක් එනම් රාජ්‍යයද, ඇති විය. රාජ්‍ය ආකෘති ඉතාමත් විවිධාකාර විය. වහල් යුගය තරම් ඈත කාලයක එකල තත්වයන් අනුව වඩාත් දියුණු, සංකෘතික හා ශිෂ්ඨාචාර වූ, නිදසුන් ලෙසට පුරාණ ග්‍රීසිය සහ රෝමය වැනි සම්පූර්ණයෙන්ම වහල් ක්‍රමය මත පදනම් වූ රටවල විවිධාකාර රාජ්‍ය ආකෘති පැවති බව අපට දැක්ක හැකිය. ඒ කාලය වන විටම රාජාණ්ඩුව සහ සමූහාණ්ඩුව අතරත් ප්‍රභූ තන්ත්‍රය හා ප්‍රජාන්තය අතරත් වෙනසක් තිබුණි. රාජාණ්ඩුව යනු තනි පුද්ගලයෙකුගේ බලය. සමූහාණ්ඩුව යනු තෝරා පත් නොකල කිසිම අධිකාරියක් නොතිබීමය. ප්‍රභූතන්ත්‍රය යනු සාපේක්ෂ වශයෙන් ක=ඩා අල්පතරයක බලයය. ප්‍රජාන්ත්‍රය යනු ජනතාවගේ බලයය. (ග්‍රීක භාෂාවේ DEMOCRACY යන්නෙහි පදගත අර්ථය, ජනතා වගේ බලය වේ. ) මේ සියලුම වෙනස්කම් උද්ගත වුයේ වහල් ක්‍රමයේ යුගයෙහිය. මෙම වෙනස්කම් එසේ තිබියදී වහල් හිමි ජනයාගේ රාජ්‍ය රාජාණ්ඩුවක්ද, නැතහොත්, සමූහාණ්ඩුවක්ද, රදළ තන්ත්‍රයක්ද, නැතහොත්, ප්‍රජාන්ත්‍රයක් ද යන්න නොතකාම, එය වහල් හිමි රාජ්‍යයක් විය.
පුරාණ කාලයේ ඉතිහාසය ගැන උගන්වන සෑම පාඨමාලාව කදීම, මෙම විෂය ගැන කරන ඕනෑම දේශනයකදීම රාජාණ්ඩු සහ සමූහාණ්ඩු රාජ්‍යයන් අතර කෙරුනු අරගලය ගැන ඔබට අසන්නට ලැබෙනවා ඇත. නමුත් මෙහි මූලික කාරණය නම් වහලුන් මිනිසුන් ලෙසට ගණන් නොගන්නා ලද බවයි. ඔවුන් පුරවැසියන් ලෙසට නීතිය අනුව ඔවුන් බඩු බාහිර ලෙසට ගැනින. මිනිසුන් ඝාතනය කිරිම ගැන වූ නීතිය වහලුන්ට අදාළ වූයේ නැත. මේ අනුව අන්‍ය නීති ගැන කීම අවශ්‍ය නොවේ. එම නීතියෙන් ආරඣෂා කෙරැනේ වහල් හිමියන් පමණකි. ඒ අනුව පූර්ණ අයිතිවාසිකම් ඇති පුරවැසියන් ලෙසට සැලකුනේ ඔවුන් පමණකි. නමුත් රාජාණ්ඩුවක් පිහිටුවා තිබුණත් සමූහාණ්ඩුවක් එය වහල් හිමියන්ගේ රාජාණ්ඩුවක් පිහිටුවා තිබුණත් සමූහාණ්ඩුවක් තිබුනත්, එය වහල් හිමියන්ගේ රාජාන්ඩුවක් නැතහොත් වහල් හ×ිමියන්ගේ සමූහාන්ඩුවක් විය. නීතිය හමුවේ වහලා භාණ්ඩයක් වූ අතර වහල් හිමියෝ සියළු අයිතිවාසිකම් භුක්ති වින්දහ. ඒ අනුව වහලා ඕනෑම ආකාරයක හිංසනයකට හා හිංසනයකට භාජනය කිරීමට හැකි විය. එපමණක් නොව වහලෙක් මැරීම වුව අපරාධයක් සේ නොසලකන ලදී. වහල් හිමි සමූහාණ්ඩු ඒවායේ අභ්‍යන්තර සංවිධාන අනුව විවිධාකාර විය. ඒවා අතර ප්‍රභූතන්ත්‍ර සමූහාණ්ඩු සහ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩු විය. ප්‍රභූ තන්ත්‍ර සමූහාණ්ඩුවක මැතිවරණ වලට සහභාගී වූයේ වරප්‍රසාද ලත් පුද්ගලයන් සුළු පිරිසක් පමණකි. ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක සියළු දෙනාම එයට සහභාගී විය. නමුත් මෙහි සියළු දෙනාම යනුවෙන් අදහස් වූයේ වහල් හිමියන්ය. එනම්, වහලුන් හැර සියළු දෙනාමය. මෙම මූලික කරුනු මතක තබා ගත යුතුය මන්ද යත්, අන් කිසිවක් කරැණකට වඩා හොදි එයින් රාජ්‍ය පිළිබඳ ප්‍රශ්ණය පිළිබඳ පැහැදිලි වන හා රාජ්‍යයේ ස්භාවය පැහැදිලි කරන හෙයිනි.
රාජ්‍ය වූකලී, එකපන්තියක් විසින් හා තවත් පන්තියක් පීඩනයට පත්කරනු ලැබිම සඳහා වූ යන්ත්‍රයකි එක පන්තියකට, අනික්, යටත් කෙරැණු පන්තිය කීකරැ කර තැබීම සඳහා වූ යන්ත්‍රයකි. මෙම යන්ත්‍රයේ විවිධ ආකෘති ඇත. වහල් හිමි රාජ්‍ය රාජ්‍ය ආණ්ඩුවක්, නැතහොත්, ප්‍රභූ තන්ත්‍ර සමූහාන්ඩුවක් විය හැක. ඇත්තවශයෙන්ම, ආණ්ඩු ආකෘති ඉතාමත් විවිධාකාර විය. නමුත් නිතරම, ඒවායේ සාරාර්ථය වෙනසක් විය. වහල් හිමි සමාජයේ වහලාට හිමි කිසිදු අයිති වාසි කමක් පීඩිත පංතියක් විය. ඔවුන් මිනිසුන් ලෙසට නොසලකන ලදී. වැඩවශම් රාජ්‍යයෙහිද අපට එම දැක්ක හැකිය.
සූරා කෑමේ ආකෘතිය වෙනස් වීම උදෙසා වහල් හිමි රාජ්‍යය වැඩවසම් රාජ්‍යයක් බවට පරිවර්තනය විය. මෙය බෙහෙවින් වැදගත් වෙනසක් විය. වහල් හිමි රාජ්‍යයේ වහලාට හිමි අයිතිවාසිකමක් තිබුනේ නැත. ඔහු මිනිසෙකු ලෙසට නොසලකන ලදී. වැඩවසම් සමාජයේ ගොවියා ඉඩමට බැද තබන ලදී. ප්‍රවේණි දාස ක්‍ර්‍රමය හදුන්වන ප්‍රධාන අංග ලක්ෂණය වූයේ ගොවීන් (එකල ගොවිජනයා බහුතර විය. නාගරික ජනගහනය ඉතා කුඩා විය.) ඉඩමට බැදුනු සේ සැළකීමය. ප්‍රවේණි දාස ක්‍රමයේ* (*රුසියානු භාෂාවේහි, ප්‍රවේණිදාස ක්‍රමය යන්න බැදීම අර්ථය ගෙන දෙන වචනයෙන් පැවත එයි. - සංස්කාරක) පදනමම මෙය වූයේය. ඉඩම් හිමියා විසින් ගොවියාට වෙන් කරන ලද ඉඩම් කැබැල්ලෙහි තමා සඳහාම නිශ්චිත දින ගණනක් වැඩ කිරීමට ගොවියාට හැකිවූ අතර, අනික් දිනවල ගොවි දාසයා ඔහුගේ ස්වාමීයා සඳහා වැඩ කළේය.
පංති සමාජයේ සාරාර්ථය ඉතිරිව තිබුණේය. සමාජය පංති සූරාකෑම මත පදනම් විය. සම්පූර්ණ අයිතිවාසිකම් භුක්ති විදීමට හැකි වූයේ ඉඩම් හිමියන්ට පමණකි. ගොවීන්ට කිසිම අයිතිවාසිකමක් තිබුණේ නැත. ව්‍යවහාරික වශයෙන් ඔවුන්ගේ තත්වය වහල් හිමි රාජ්‍ජ්‍යයේ වහළුන්ට වඩා වෙනස් වූයේ ඉතා ස්වල්ප වශයෙනි. එය එසේ වුවත් ගොවි දාසයා එක එල්ලේම ස්වාමියාට හිමි දේපලක් ලෙසට නොසලකන ලද නිසා ඔවුන්ගේ විමුක්තිය සඳහා ගොවි ජනයාගේ විමුක්තිය සඳහා වඩාත් පුළුල් මාවතක් විවෘත්ත විය. තමාගේ කාලයෙන් කොටසක් තමා සඳහාම වැඩ කිරීමට මිඩංග= කිරීමට ගොවි දාසයාට හැකි වූ නිසා, ඔහු එක්තරා දුරකට ඔහුටම අයත් වූ බව කිව හැකිය. තවද හුවමාරු සහ වෙළඳ සම්බන්ධකම් සංවර්ධනය වීමේ අවස්ථා පුළුල් වීමත් සමඟ වැඩ වසම් ක්‍රමය අනවරතයෙනම දුර්වල වීම නිසා, ගොවි ජනතාවගේ විමුක්තිය සඳහා ඉඩකඩ නොනැවතම පුළුල් විය. වැඩවසම් සමාජය සෑම විටම වහල් සමාජයට වඩා සංකීර්ණ විය. ඒ අනුව එකළ පවා ධනපති ක්‍රමට මග හෙළිවිය. මධ්‍යකාලීන සමයේදී වැඩ වසම් ක්‍රමය ප්‍රභල වූයේය. මෙහිද රාජ්‍ය ආකෘති විවිධාකාර විය. රාජාණ්ඩුව සහ සමූහාණ්ඩුව යන දෙකම අපට දක්නට ලැබේ. නමුත් ඉන් පසුකී ආකෘතිය බොහෝ දුර්වල ආකාරයෙන් පිළිබිඹු වූයේ විය. නමුත් සෑම විටම වැඩවසම් ස්වාමි වරයා එකම පාලකයා ලෙසට සලකන ලදී. ගොවි දාසයන්ට සෑම සියළු දේශපාලන අයිතියක්ම අහිමි කර තිබිණි. වහල් ක්‍රමය යටතේ ඒවා එසේ නැතහොත් වැඩවසම් ක්‍රමය යටතේ වේවා බලකිරීම නොමැති වීනම් අති මහත් බහුතරය යටත් කොට අධිපතිකම් කිරීමේ හැකියාවක් කුඩා අල්පතරයකට නොතිබිණ්. පීඩනය ඉවත දැමීම සඳහා පීඩිතයන් දැරූ නිරන්තර ප්‍රයත්නයන්ගෙන් ඉතිසාහය ග්‍රහ්‍නය වහල් ක්‍රමයෙන් විමුක්තිය ලැබීම සඳහා දසක ගණන් තිස්සේ පැවති විමුක්ති යුද්ධ පිළිබඳ වැර්ථා වහල් ක්‍රමයේ ඉතිහාසයේ ඇත. ධනපති විය ගසට විරැද්ධව නියම වශයෙන් සටන් කරන එකම ජර්මන් පක්ෂය වන ජර්මන් කොමියුනිස්ට්වරුන් “ස්පාර්ටසිස්” යන නම ගෙන තිබෙන්නේ ස්පාර්ටකස්, අවුරුදු 2000 කට පමණ පෙර ඇතිවූ ශේෂඨතම වහල් කැරුල්ලක ඉතාමත් ප්‍රමුඛ නායකයා වූ ෙහයින් බව මෙහි ලා අමතර වශයෙන් සඳහන් කළ යුතුය. සම්පූර්ණයෙන්ම වහල් ක්‍රමය මත රුදී පැවතුණු, සර්වබලධාරී සේ පෙණුනු රෝම අධිරාජ්‍ය, ස්පාර්ටකස්ගේ නායකත්වය යටතේ ආයුධ සන්නද්ධ වූ සහ මහා හමුදාවක් ලෙසට එක්සත් වූ වහලුන්, විශාල ලෙස පැතිරීගිය ආකාරයෙන් ගැසූ කැරැල්ලකින් අවුරුදු ගණනාවක්ම යන තෙක් ඇතිවූ කම්පනයට හා වැදුනු පහරවලට ලක් විය. අවසානයේ ඔවුන් පරාජයට පත් වූයෙන්, වහල් හිමියන් විසින් අල්වා දරුණු වදයට භාජනය කරන ලදී. පංති සමාජය පැවැත්මේ මුළු ඉතිහාසයම එවැනි සිවිල් යුද්ධ වලින් ලකුණු වී තිබේ. වහල් යුගයේ ඇති වූ මෙම සිවිල් යුද්ධ අතුරෙන් විශාලතම එකක් ගැන මම දැන් ඔබට සඳහන් කළෙමි. වැඩවසම් ක්‍රමයේ මුළු යුගයම, ගොවි ජනයාගේ එවැනිම නිරන්තර කැරලි ගැසීම් වලින් සලකුණු වී තිබේ. නිදසුනක් ලෙසට මධ්‍යකාලීන සමයේ ජර්මනියේ පංති දෙකක් අතර, ඉඩම් හිමියන් හා ප්‍රවේනි දාසයන් අතර ඇතිවූ අරගලය පුළුල් ලෙස පැතිරී ගොස් ඉඩම් හිමියන්ට විරුද්ධ ගොවි ජනයාගේ සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය විය. රුසියාවේ වැඩවසම් ඉඩම් හිමියන්ට විරුද්ධ ගොවි ජනයා නැවත නැවතත් ගැසූ කැරළි පිළිබඳව නිදර්ශන ඔබ දන්නෙහිය.
වැඩවසම් අධිපතියන්ගේ පාලනය පවත්වා ගැනීම සහ බලය රැකගැනීම පිණිස ඔවුන් වසමේ විශාල සංඛ්‍යාවක් ජනයා එක්සත් කර, එම ජනය යම් යම් නීති වලට හා රෙගුලාසි වලට යටත් කරනු සඳහා උපයෝගී කරගත හැකි යන්ත්‍රයක් වැඩවසම් අධිපතීන්ට තිබිය යුතුය. අනික් අතට මෙම නීති සියල්ලම මූලික වශයෙන් එක් අර්ථයක් දැරුවේය. ඒ සියල්ලම ගොවි දාසයන් යටත් කර ස්වාමිවරුන්ගේ බලය පවත්වා ගැනීම සඳහා සකස් වී තිබිණි. මෙම යන්ත්‍රය වැඩවසම් රාජ්‍යය විය. නිදසුනක් ලෙසට රුසියාවේ නැතහොත් ඉතාමත් නොදියුණු ආසියාතික රටවල (එම රටවල අද දක්වාම වැඩවසම් ක්‍රමය පවතී) එය ආකෘතියෙන් වෙනස් විය. එය එක්කෝ සමූහාණ්ඩුවක්, නැතහොත්, රාජාණ්ඩුවක් විය. රාජ්‍ය රාජාණ්ඩුවක් වන විට, එක් පුද්ගලයෙකුගේ පාලනය පිළිගන්නා ලදී. එය සමූහාණ්ඩුවක් වන විට ඉඩම් හිමි සමාජයේ තොරා පත්කළ නියෝජිතයන්ගේ සහභාගීත්වය එක් හෝ තවත් ප්‍රමාණයකට පිළිගන්නා ලදී. මෙසේ වූයේ වැඩවසම් සමාජයෙහිය. වැඩවසම් සමාජයේ පංති බෙදීමක් නියෝජනය වූ අතර, එය යටතේ අති බහුතරය, එනම්, ගොවි දාසයෝ, ඉතා සුළු අල්පතරයකට, එනම්, ඉඩම් හිමියන්ට සම්පූර්ණයෙන්ම යටත් වී සිටියහ.
වෙළඳාම සංවර්ධනය වීම නිසා, වෙළඳ භාණ්ඩහුවමාරුව සංවර්ධනය වීම නිසා, නව පංතියක් වන ධනපතියන් මතුවී ඒමට හේතු විය. මධ්‍යකාලීන යුගය අවසානයේදී, ඇමරිකාව සොයා ගැනීමෙන් පසුව ලෝක වෙළඳාම විශාල වශයෙන් සංවර්ධනය වූ කළ, අගනා ලෝහ වර්ගවල ප්‍රමාණය වැඩිවූ කළ, රිදී හා රන් හුවමාරු මාධ්‍ය බවට පත්වූ කළ, මුදල් සංසරණය නිසා පුද්ගලයන්ට ඉමහත් ධන සම්භාරයක් හිමිකොට ගැනීමට හැකියාව ලැබුණු කළ, ප්‍රාග්ධන යථාරූපලෙස හැඩගැසුනේය. රිදී හා රන් ලෝකය මුලුල්ලේම ධනය ලෙසට පිළිගන්නා ලදී. ඉඩම් හිමි පංතියේ ආර්ථික බලය හීනවී ගිය අතර, නව පංතියේ - ප්‍රාග්ධනයෙහි නියෝජිතයන්ගේ - බලය වර්ධනය විය. සමාජය යම් සේ ප්‍රතිසංස්කරණය වීද යත්, සියළුම පුරවැසියන් එක සමාන සේ පෙනින. වහල් හිමියන් සහ වහළුන් ලෙසට වූ පැරණි බෙදීම අතුරුදහන් විය. එක් එක් පුද්ගලයා සතු ප්‍රාග්ධන ප්‍රමාණය කුමක් වුවත්, නීතිය හමුවේ සියළු දෙනා සමාන සේ පිළිගන්නා ලදී. නීතිය සෑම දෙනාටම සමසේ ආරක්ෂාව දෙයි. එය, දේපල හිමි නැති, තමන්ගේ ශ්‍රම ශක්තිය හැර අන් කිසිවක් හිමි නැති, තව තවත් දුප්පත් වෙමින් හා විනාශයට පත් වෙමින් ද, නිර්ධනයන් බවට පත් වෙමින්ද සිටින පොදු ජනයාගේ ප්‍රහාරයෙන් දේපල හිමි අයගේ දේපල ආරක්ෂා කරයි. ධනපති සමාජය එසේය.
මට මේ ගැන වැඩි විස්තර ඉදිරිපත් කිරීමට ඉඩක් නැත. පක්ෂයේ වැඩ පිළිවෙල සාකච්ඡා කරන විට ඔබ නැවතත් මෙය වෙත යොමු වනු ඇත. එවිට ඔබට ධනපති සමාජය පිළිබඳ විස්තරයක් අසන්නට ලැබෙනවා ඇත. ප්‍රවේණි දාස ක්‍රමයට විරුද්ධව, මෙම සමාජය ඉදිරිපත් වන්නේ පිළිබඳ සටන්පාඨ යටතේය. නමුත් එය දේපල හිමි අය සඳහා නිදහස විය. දහ අටවන ශතවර්ෂය අගදී සහ දහ නවවන ශතවර්ශය මුලදී, වැඩවසම් ක්‍රමය දෙදරා ගිය පසු - රුසියාවේ එය සිදු වූයේ අනු රටවලට ප්‍රමාදව, 1861 දීය. වැඩවසම් රාජ්‍ය යවනුවට ආදේශ වූයේ, මුළු ජනතාවම සඳහා නිදහස තමන්ගේ සටන්පාඨය බවට පත් කරන, තමන් මුළු ජනතාවගේම කැමැත්ත පිළිබිඹු කරන බව කියන සහ තමන් පංති රාජ්‍යයක් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන, ධනපති රාජ්‍ය විය. සෝවියට සමාජවාදී සමූහාණ්ඩුව ඇති වීමට මග පෙන්වූයෙන්, ලොකය මුළුල්ලේම සිදුවෙමින් පවතින්නේත්, එම අරගලයය.
ලෝක ප්‍රාග්ධනයට විරුද්ධව ආරම්භ කර තිබෙන අරගලය ගැන අවබෝධ කර ගැනීමට, ධනපති රාජ්‍යයේ ස්වභාවය ගැන අවබෝධ කර ගැනීමට, අප මතක තබාගත යුතු දෙයකි. ධනපති රාජ්‍ය, වැඩවසම් රාජ්‍යයට විරුද්ධව ඉදිරිපත් වෙමින් සටනට අවතීරණ වූයේ නිදහස පිළිබඳ සටන් පාඨ යටතේ බව. ප්‍රවේනි දාස ක්‍රමය බිඳ වැයටමින් පැවති නිසාත්, ගොවි ජනයා වන්දි ගෙවීමෙන් හෝ හිලවු බදු ගොවීමෙන් හෝ ඔවුන් විසින් මිලට ගන්නා ලද ඉඩම් තමන්ට සම්පූර්ණයෙන් අයත් දේපල ලෙසට හිමිකර ගැනීමේ හැකියාව ගොවීන්ට ලැබී තිබුණු නිසාත්, මෙය රාජ්‍ය හා සම්බන්ධ දෙයක් නොවීය. වැඩවසම් ක්‍රමය අහෝසි කිරීම යන්නෙන් අදහස් වූයේ ධනපති රාජ්‍යයේ නියෝජිතයන් සඳහා නිදහසය. එය ඔවුන්ගේ උවමනාව ඉටුකර ගැනීම සඳහා ප්‍රයෝජනවත් විය. පෞද්ගලික දේපල වල සම්බවය ගැන නොතකාම රාජ්‍ය එම දේපල ආරක්ෂා කළේය. එසේ වූයේ රාජ්‍ය පෞද්ගලික දේපල පදනම්කොට පිහිටා තිබුණු හෙයිනි. නවීන ශිෂ්ටාදාර රාජ්‍යයන් සියල්ලම තුළ ගොවි ජනයා පෞද්ගලික අයිතිකරුවෝ වූහ. ඉඩම් හිමියා ඔහුගේ ඉඩමෙන් කොටසක් ගොවියාට දෙනකළ පවා, රාජ්‍ය පෞද්ගලික දේපල වෙනුවෙන් පෙනී සිටිමින්, ඉඩම් හිමියාට වන්දි ලබා දීමෙන්, ඉඩම් වෙනුවට මුදල් ලබා ගැනීමට ඔහුට ඉඩ දීමෙන් ඔහුට වාසි සැලසුවේය. සියළු පෞද්ගලික දේපල සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවට රාජ්‍ය විසින් ප්‍රකාශ කරන ලද කළෙක මෙන් විය. රාජ්‍ය පෞද්ගලික දේපල සෑම ආකාරයක්ම හා ආරක්ෂාවක්ම දුන්නේය. රාජ්‍ය සෑම වෙළෙන්දෙකුගේම, කර්මාන්තකරුවෙකුගේම සහ නිෂ්පාදකයකුගේම පෞද්ගලික දේපල මත, ප්‍රාග්ධනයේ බලය මත, දේපල අහිමි කම්කරුවන් සහ ශ්‍රමකරු පොදු ජනතාව සම්පූර්ණයෙන්ම යටත් කිරීම මත පදනම් වූ මෙම සමාජය එහි පාලනය නිදහස මත පදනම් වූ පාලනයක් බව ප්‍රකාශයට පත් කළේය. වැඩවසම් ක්‍රමයට විරුද්ධව සටන් කිරීමේදී දේපල පිළිබඳ නිදහස ප්‍රකාශයට පත් කළ එය විසින් කියන ලද පරිදි, රාජ්‍ය පංති රහිත රාජ්‍යයක් වීම ගැන එය විශේෂයෙන් උදම් විය.
එසේ වුවත්, රාජ්‍ය තවදුරටත් දුප්පත් ගොවීන් හා කම්කරු පංතිය යටත්කර තබැ ගැනීමට ධනපතියන්ට ආධාර කළ යන්ත්‍රයක් ලෙසටම පැවැත්තේය. නමුත් පිටතින් පෙනෙන ලෙසට එය නිදහස් රාජ්‍යයක් විය. එය සර්වජන ඡන්දය ප්‍රකාශයට පත් කළේය. එය පංති රහිත රාජ්‍යයක් නොවන බව එහි දේශකයන්, නයකයන්, උගතුන් හා ධාර්ශනිකයන් ලවා කියෙව්වේය. දැන්, සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු රාජ්‍යයට විරුද්ධව සටන් කිරීමට පටන්ගෙන තිබෙන විට පවා, ඔවුහු අපට යෝජනා කරමින්, අප නිදහස උල්ලංගනය කරන බවත්, බල කිරීම මත, එක් පිරිසක් තවත් අය විසින් මර්ධනය කරනු ලැබීම මත පදනම් වූ රාජ්‍යයක් ගොඩනගන බවත්, ඒ අතර ඔවුන් පොදුජන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නියෝජනය කරන බවත්, කියති, දැන්, ලෝක සමාජවාදී විප්ලවය ආරම්භ වී තිබෙන කළ, සමහර රටවල විප්ලවය සාර්ථකවී තිබෙන කළ, ලෝක ප්‍රාග්ධනයට විරුද්ධව කරන සටන විශේෂයෙන්ම තියුණු වී තිබෙන කළ, රාජ්‍ය පිළිබඳ මෙම ප්‍රශ්නය ඉමහත් සේ වැදගත් වී ඇත. එය, අයකුට කිව හැකි ලෙසට, වඩාත්ම ගිණිගෙන දැල්වෙන ප්‍රශ්නයද, අද දේශපාලන ප්‍රශ්න හා විවාද සියල්ලෙහිම යොමු ලක්ෂයද වන්නේය.
රුසියාවේ, නැතහොත්, වඩාත් ශ්ෂ්ටාචාර රටවල් අතුරෙන් ඕනෑම එකක කුමණ ප්‍රශ්නය ගත්තත්, දේශපාලන විවාද හා අසමතයන් හා මතිමතාන්තර සියළ්ලම දැන් රාජ්‍ය පිළිබඳ සංකල්පය වටා ගෙතී තිබෙන බව අපට පෙනේ. ධනති රටක ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක විශේෂයෙන්ම ස්විස්ටර්ලන්තයේ නැතහොත් ඇමරිකා එක්සත් ජනපදය වැනි සමූහාණ්ඩුවක, නිදහස්තම ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවල රාජ්‍ය පොදු ජන කැමැත්ත එනම් ජනතාවගේ පොදු තීරණයේ එකතු සමස්තය ප්‍රකාශ කරන්නක්ද? ජාතික කැමැත්ත යනාදිය ප්‍රකාශ කරන්නක්ද, එසේ නැතහොත් රාජ්‍ය යනු කම්කරු පංතිය සහ ගොවි ජනතාව යටත්කොට එරටවල ධනපතියන්ගේ බලය පවත්වා ගැනීම සඳහා එම ධනපතියන්ට ආධාර කරන යන්ත්‍රයක්ද? ලෝකය මුළුල්ලේම සිදුවන දේශපාලන විවාද සියල්ලම දැන් ගෙතී ඇත්තේ මෙම මූලික ප්‍රශ්නය නැමති මධ්‍ය ලක්ෂය වටාය. ඔවුහු බොල්ශෙවික් වාදය* (*බොල්ශෙවික්වාදය - වී.අයි. ලෙනින්ගේ රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍ර වාදයෙහි වූ සසංගත විප්ලවවාදී ප්‍රවනතාවයකි - සංස්කාරක) ගැන කුමක් කියත්ද? ධනපති පුවත්පත් බොල්ශෙවික්වරුන්ට බැණ වදිති. බොල්ෂෙවික්වරු පොදුජන පාලනය උල්ලංඝනය කරතියි යන වැරැහැලි වූ චෝදනාව නැවත ඉදිරිපත් නොකරන එක ද ප්‍රවෘති පත්‍රයක්වත් ඔබට සොයාගත නොහැකි වනු ඇත. මෙම චෝදනාව නිපදවාගත්තේ හා නිර්මාණය කර ගත්තේ තමන් යයි අපගේ මෙන්ෂෙවික්වරු සහ සමාජවාදී විප්ලව වාදීහු ඔවුන්ගේ නිවටකම නිසා (සමහර විට එය නිවට කම නොවේ.) එසේ නැතහොත් එය සොරකමට වඩා නරක යැයි ප්‍රස්තා පිරුලෙන් කියවෙන නිවට කමය) සිතති නම් ඔවුන්ට සිදුවී තිබෙන්නේ හාස්සජනක වැරදීමකි. අද ඉතාමත් ෙපාහොසත් රටවල තිබෙන ඉතාමත් පොහොසත් පුවත්පත්, කෝටි ගණන් මුදල් වැය කරමින් ඒවායේ කොටි ගණන් පිටපත් මගින් ධනපති බොරු සහ අධිරාජ්‍ය වාදී ප්‍රතිපත්ති පතුරුවා හරිති. මෙම පුවත්පත් සෑම එකක්ම බොල්ශෙවික් වාදයට විරුද්දව දමා ගසන මෙම මූලික තර්ක හා චෝදනා එනම් ඇමරිකා එක්සත් ජනපද, බ්‍රිතාන්‍යා හා ස්විස්ටර්ලන්තය පොදු ජන පාලනයේ පදනම මත පිහිටි දියුණු රාජ්‍යයි ද ඒ අතර බෝල්ශෙවික් රාජ්‍ය කිසිම නිදහසක් නැති චෞර රාජ්‍යයකැයි එය පොදු ජන පාලනය පිළිබඳ අදහස උල්ලංගණය කර ඇතියිද, එසේ කිරීමේදී ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය* (*1917 මාර්තු 02 (15 දා) තාවකාලික ආණ්ඩුව ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් කැඳවීම ගැන ප්‍රකාශ කළේය. එම මණ්ඩලයට තෝරා පත් කිරීමේ මැතිවරණය 12 (25) දිනට නියමිත කරන ලදී.
ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයට තෝරා පත් කිරීමේ මැතිවරණය ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයෙන් පසු පවත්වන ලදී. එය පවත්වනු ලැබුවේ ඔක්තෝම්බර් විප්ලවයට පෙර සකස් කරන ලද හා විප්ලවයෙන් පසු රටේ ඇතිවූ නව දේශපාලන බලවේගයන්ගේ බල තුලනය පිළිබිඹු නොකරන්නාවූ මැතිවරණ ලැයිස්තු අනුවය. එම නිසා ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ ආසන බහුතරය දක්ෂිණ එස්එර් වරුන්ට හා මෙන්ෂෙවික් වරුන්ට ලැබිණ. එය 1918 ජනවාරි 5 වැනි දින විවෘත්ත විය.
සෝවියට් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද “වැඩකරන හා සූරාකනු ලබන ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය” හා සාමය හා ඉඩම් පිළිබඳ ආඥා පනත” සම්මත කිරීමට ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ ප්‍රතිවිප්ලවවාදී බහුතරය ප්‍රතික්ෂේප කළ පසු සමස්ත රුසියා මධ්‍යම විධායක කාරක සභාව එය විසුරුවා හැරීමට තීරණය කළේය. රුසියාවේ කම්කරුවෝ හා ගොවි ජනතාව එම තීරණයට අනුබල දුන්හ) විසුරුවා හැරීම තරම් දුරට ගොස් ඇතැයිද, යනු පුනරුච්ඡාරණය කරන්නේය. බොල්ශෙවික්වරුන්ට විරුද්ධව ලෝකය මුළුල්ලේම මෙම චෝදනා පුනරුච්ඡාරණය කරනු ලැබේ. මෙම චෝදනා නිසා අප එක එල්ලේම යොමු වන්නේ, රාජ්‍ය යනු කුමක්ද? යන ප්‍රශ්නය වෙතය. මෙම චෝදනා වටහා ගනු පිණිස, ඒවා අධ්‍යයනය කිරීම සහ ඒවා කෙරෙහි සම්පූර්ණයෙන් ඥානාන්විත ආකල්පයක් ඇතිකර ගනු පිණිස, ඒවාගැන ආරංචි මාත්‍රයෙන් පරීක්ෂා නොකර අපගේම දැඩි අදහසක් ඇතිව එසේ කිරීම පිණිස, රාජ්‍ය කුමක්දැයි දැඩි අදහසක් අපට තිබිය යුතුය. අප හමුවේ සෑම වර්ගයකම ධනපති රාජ්‍යයන් සහ ඒවාට ආරක්ෂාව දෙන න්‍යායයන් සියල්ලද ඇත. එම න්‍යායයන් යුද්ධයට පෙර නිර්මාණය කරන ලද ඒවාය. ප්‍රශ්නයට නිසිලෙස පිලිතුරු දෙනු සඳහා මෙම න්‍යයයන් සියල්ලම ගැන විවේචනාත්මක ලෙස විමසා බැලිය යුතුය.
ආධාර ලබාගනු පිණිස එංගල්ස්ගේ “පවුල, පෞද්ගලික දේපල සහ රාජ්‍ය ඇතිවූ සැටි” යන කෘති වෙත හැරෙන ලෙස මම ඔබට මුළින් කීවෙමි. ඉඩම් සහ නිෂ්පාදන මාර්ග පිළිබඳ පෞද්ගලික අයිතිය පවතින, ප්‍රාග්ධනයේ ආධිපත්‍ය පවතින සෑම රාජ්‍යයක්ම, එය කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී වුවත්, ධනපති රාජ්‍යයක් වන බවත්, කම්කරු පංතිය හා දුප්පත් ගොවි ජනයා යටත්කර තබා ගැනීමට ධනපති පංතිය විසින් යොදාගනු ලබන යන්ත්‍රයක් වන බවත්, ඒ අතර, සර්වජන ඡන්දය, ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් යනු හුදෙක්ම එක්තරා ආකාරයක, එක්තරා වර්ගයක පොරොන්දු නෝට්ටුවක් පමණක් බවත්, එයින් පවතින තත්වය වෙනස් නොවන බවත්, එම පොතෙහි කියා ඇත.
රාජ්‍යයේ ආධිපත්‍ය පවත්වා ගන්නා ආකාරයන් වෙනස් විය හැක; එක ආකෘතියක් ඇති තැනක එක් ආකාරයකින්ද, තවත් ආකෘතියක් ඇති තැනෙක තවත් ආකාරයකින්ද, ප්‍රාග්ධනය එහි බලය පෙන්නුම් කරයි. නමුත්, ඡන්දය විමසීමේ සුදුසුකම්, නැතහොත්, වෙනත් අයිතිවාසිකම් තිබුනත් නැතත්, බලය මූලික වශයෙන් ප්‍රාග්ධනය අතෙහි පවතී. ඇත්ත වශයෙන්ම, ධනපති ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වූ තරමට එහි පාලනයය වඩාත් ගොරොසු සහ කුඩුකේඩු ස්වභාවයක් ගන්නේය. ඇමරිකා එක්සත් ජනපදය ලෝකෙය් තිබෙන ඉතාමත් ප්‍රජාන්තවාදී සමූහාණ්ඩුවකි. නමුත් මුළු සමාජයම අභිබවා ගිය ප්‍රාග්ධනයේ බලය අතලොස්සක් කෝටිපතියන්ගේ බලය අමරිකාවේ තරම් ගොරෝසු හා විවෘත ලෙසම දූසිත වූ වෙනත් රටක් නැත. (1905 පටන් එරටට ගිය අය මේ බව සමහරවිට දන්නවා ඇත.) ප්‍රාග්ධනය පවතින කල්හි ය මුළු සමාජයම එහි ආධ්පත්‍යයට යටත් කරයි. කිසිම ප්‍රජාන්ත්‍රවාදී සමූහාණ්ඩුවකට කිසිම ඡන්ද විමසීමකට එහි ස්භාවය වෙනස් කළ හැකි නොවේ.
වැඩවසම් ක්‍රමය සමග සසදන කල සමූහාණ්ඩුව හා සර්වජන ඡන්දය දැවැනත ප්‍රගතිශීලි ඉදිරි ගමනක් නියෝජනය කළේය. එනිසා නිර්ධන පංතියට එහි වර්ථමාන සමගිය සහ සහයෝගිතාවය ඇති කර ගැනීමටත් ප්‍රාග්ධනයට විරුද්ධව ක්‍රමාණුකුල අරගලයක් කරමින් සිටින ඒ දැඩි සහ විනය සම්පන්න පිරිස් සංවිධානය කර ගැනීමටත් හැකි විය. මෙයට ගව් ගණනකින්වත් සමාන වන කිසිවක් ගොවි දාසයන් අතර නොවීය. ඒ අනුව වහලුන් අතර එවැන්නක් නොතිබුණු බව කිවමනා නොවේ. අප දන්නා පරිදි වහල්ලු කැරළි ගසූහ. ප්‍රතිරෝධය පෑහ. සිවිල් යුද්ධ ආරම්භ කළහ. නමුත් පංති විඥානය සහිත බහුතරයක් අති කිරීම සහ අරගලයට නායකත්වය දීමට පක්ෂ ඇති කිරීම ඔවුන්ට කිසි කළෙකත් කළ නොහැකි විය. තමුන්ගේ අරමුණු මොනවාදැයි පැහැදිළිව වටහා ගැනීමට ඔවුන් අපොහොසත් විය. ඉතිහාසයේ ඉතාමත් විප්ලවවාදී අවස්ථා වලදී පවා ඔවුන් පාලක පංතිවල ඉත්තන් විය. ලෝකයේ සමාජ සංවර්ධනයේ ස්ථාවරයෙන් බලන කළ, ධනපති සමූහාණ්ඩුව, පාර්ලිමේන්තුව, සර්වජන ඡන්දය යන මේ සියල්ලෙන් නියෝජනය වන්නේ මහත් දියුණුවකි. මිනිස් වර්ගයා ධනපති ක්‍රමය කරා ගමන් ගත්තේය. පීඩිත නිර්ධන පංතියට තමන් ගැන අවබෝධ කර ගැනීමට සහ ලෝක කම්කරු පංති ව්‍යාපාරය ඇති කිරීමට, එනම්, ලෝකය මුළුල්ලේම පක්ෂ වශයෙන් සංවිධානය වූ පොදු ජනතාවගේ අරගලයට වි:ඥාන නායකත්වයක් දෙන සමාජවාදී පක්ෂය තුළ සංවිධානය වුනු කොටි සංඛ්‍යාත කම්කරුවන්ගේ ව්‍යාපාරය ඇති කිරීමට හැකි වූයේ ධනපති ක්‍රමය නිසාම පමණෙකි. ඔවුන්ට එම හැකියාව ලැබුනේ නාගරික සංස්කෘතිය හේතුකොට ගෙනය. පාර්ලිමේන්තුවාදය නොමැතිව, තොරා පත් කිරීමේ ක්‍රමයක් නොමැතිව, කම්කරු පංතියේ මෙම සංවර්ධනය සිදු වීමට ඉඩක් නොවීය. මේ සියල්ල පුළුල් ජනතාවගේ ඇස් හමුවේ මෙතරම් වැදගත් තත්වයකට පත් වූයේ එබැවිනි. මූලික වෙනසක් කිරීම එතරම් අපහසු සේ පෙනෙන්නේ එබැවිනි. රාජ්‍ය නිදහස්ය. එහි මෙහෙය නම් සියළු දෙනාගේම උවමනාවන් ආරක්ෂා කිරීමය යන ධනපති බොරුව පිළිගන්නේ සහ ආරක්ෂා කරන්නේත් විඥාත රැවටිලි කාරයෝත්, විද්‍යාඥයෝ සහ පූජකවරු පමණක් නොවෙති. අවංකවම පැරණි දුර්මත කොරෙහි තදින් එල්බගෙන සිටින හා හා පැරණි ධනපති සමාජයේ සිට සමාජවාදයට සංක්‍රමණය වීම ගැන වටහා ගත නොහැකි අය බොහෝ දෙනෙක්ද එයම කරති. නෙලින්ම ධනපතියන්ගෙන් යැපෙන අය පමණක් නොව, ප්‍රාග්ධනයේ වියගස යටතේ වෙසෙන අය හා ප්‍රාග්ධනය විසින් අල්ලස් දෙන ලද අය (ප්‍රාග්ධනයට සේවය කරන විවිධාකාර විද්‍යාඥයන්, කලාකරුවන්, පූජකයන්, ආදීන් රැසක් ඇත.) පමණක් නොව, ධනපති නිදහස පිළිබඳ දුර්මතෙයන් හුදෙක් වසඟ වූ අය ද පවා ලෝකය මුළුල්ලේම බොල්ශෙවික් වාදයට විරුද්ධව ආයුධ අතට ගත්හ. එයට හේතු වූයේ සෝවියට සමූහාණ්ඩුව පිහිටුවන කළ එය මෙම ධනපති බොරු ප්‍රතික්ෂේප කරමින් මෙසේ කීමය; නුඹලාගේ රාජ්‍ය නිදහස් යැයි නුඹලා කියන්නාහුය. නමුත් පෞද්ගලික දේපල තිබෙන තාක්කල්, නුඹලාගේ රාජ්‍ය ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව වුවත්, එය කම්කරුවන් මර්ධනය කිරීමට ධනපතියන් විසින් යොදා ගනුලබන යන්තුයක් මිස අන් කිසිවක් නොවේ. එසේම රාජ්‍ය වඩා නිදහස් වූ තරමට ඒ බව වඩාත් පැහැදිලි ලෙස ප්‍රකාශ වන්නේය. යුරෝපයේ ස්විස්ටර්ලන්තයත්, ඇමරිකාවේ එක්සත් ජනපදයත්, මෙයට නිදර්ශන වෙති. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩු වුවත්, ඒවා කෙතරම් රුවට සායම්කර තිබුණත්, ශ්‍රම ප්‍රජාතන්ත්‍රවාදය සහ සියළුම පුරවැසියන්ගේ සමානත්වය ගැන කොතෙක් කතා කළත්, ඒවායේ ප්‍රාග්ධනයේ පාලනය තරම් කුඩුකේඩු සහ නිර්දය පාලනයක් වෙනත් කිසිම රටක නැත. ප්‍රාග්ධනයේ පාලනය එතරම් පැහැදිලි ලෙස දක්නට ලැබෙන වෙනත් රටක්ද නැත. සත්‍ය කරුණ නම් ස්විස්ටර්ලන්තය සහ එක්සත් ජනපදය තුළ ප්‍රාත්ධනයේ ආධිපතිත්වය බලපවත්වන බවයි. කම්කරුවන් ස්වකීය ජීවන තත්වයන්හි අල්පමාත්‍ර හෝ සැබෑ දියුණුවක් ඇතිකර ගැනීමට දරණ සෑම ප්‍රයත්නයක්ම හමුවට වහාම සිවිල් යුද්ධය පැමිණෙන බවයි. මෙම රටවල සිටින සොල්දාදුවන් සංඛ්‍යාව නොවැඩිය; ඒවායේ තිබෙන ස්ථීර යුද්ධ හමුදා නොවිශාලය. ස්විස්ටර්ලන්තයේ මිලීසියා හමුදාවක් ඇති අතර, සෑම ස්වීස් ජාතිකයකුටම ගෙදර තුවක්කුවක් ඇත. ඇමරිකාවේ මෑතක් වන තුරුම ස්ථීර යුද්ධ හමුදාවක් නොවීය. එනිසා වැඩ වර්ජනයක් ඇතිවන කළ ධනපතියෝ හට පිරිසක් ආයුධ සන්නධකොට හා කුලියට ගෙන වැඩ වර්ජනය කඩාකප්පල් කරති. කම්කරු ව්‍යාපාරය මර්ධනය කිරීමේදී ස්විස්ටර්ලන්තයෝ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තරම් නිර්ධය දරුණු ක්‍රියා යොදාගැනීම දක්නට ලැබෙන වෙනත් කිසිම රටක් නැත. මෙරටවල තරම් බලවත් ලෙස පාර්ලිමේන්තුව තුළ ප්‍රග්ධනයේ බලය ප්‍රදර්ශනය වන වෙනත් කිසිම රටක් නැත. සියළු බලය ඇත්තේ ප්‍රාග්ධනයෙහිය. සියළු බලය ඇත්තේ ව්‍යාපාර පොළෙහිය. ඒ අතර පාර්ලිමේන්තුව සහ මැතිවරණ රෑකඩ සහ පඹයෝ වෙති..... නමුත් කම්කරුවන්ගේ ඇස් එන්න එන්නම පෑදෙන්නේය. ඒ නිසා සෝවියට් ආණ්ඩුව පිළිබඳ අදහස තව තවත් ඈතට විහිදී යන්නේය. අප අත්දුටු සංහාරයෙන් පසුව විශේෂයෙන්ම එය පැතිරී යන්නේය. ධනපතියන්ට විරුද්ධව බුරුලක් නොදෙන යුද්ධයක් කිරීමේ අවශ්‍යතාවය කම්කරු පංතියට වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී.
සමූහාණ්ඩුව කුමණ වේශයක් ගත්තත්, එය කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී වුවත්, එය ධනපති සමූහාණ්ඩුවක් නම් එය ඉඩම් හා පැක්ටරි වල පෞද්ගලික හිමිකම දිගටම තබා ගන්නේ නම්, එසේම පෞද්ගලික ප්‍රාග්ධනය විසින් මුළු සමාජයම වේතන වහල් භාවයේ තබාගනු ලැබේනම්, වෙනත් වචන වලින් කියතොත්, සමූහාණ්ඩුව, අපගේ පක්ෂ වැඩ පිළිවෙලින් සහ සෝවියට් ව්‍යවස්ථාවෙන් ප්‍රකාශකර ඇති දේ ක්‍රියාත්මක නොකරන්නේ නම්, එවිට රාජ්‍ය සමහර අය විසින් අනිත් ජනයා මර්ධනය කිරීම සඳහා වූ යන්ත්‍රයක් වන්නේය. අපි මෙම යන්ත්‍රය ප්‍රාග්ධනයේ බලය පෙරලා දැමීමට සිටින පංතියේ අතට පත් කරන්නෙමු. රාජ්‍යයෙන් අදහස් කෙෙරන්නේ සියළුම දෙනාගේ සමානත්වයකැයි යන සෑම පැරණි දුර්මතයක්ම ඉවත ලන්නෙමු. එසේ කීම වංචාවකි. සූරාකෑම තිබෙන තාක්කල් සමානත්වය තිබිය නොහැකිය. ඉඩම් හිමියා කම්කරුවාගේ සමානයෙක් නොවේ. නැතහොත් සාගින්නේ පෙලෙන මිනිසා, කුස පුරවාගත් මිනිසාට සමාන නොවේ. මෙම යන්ත්‍රය රාජ්‍ය යනුවෙන් හැදින්වේ. පොදු ජන පාලනය පිළිබඳ පැරණි කතා විශ්වාස කළ ජනයා, එය හමුවේ මිත්‍යා බියකින් යුතුව එයට ගෞරව දැක්වූහ. එම පැරණි කතා ධනපති බොරුවක් බව නිර්ධන පංතිය ප්‍රකාශ කරයි. නිර්ධන පංතිය මෙම යන්ත්‍රය විනාශ කරනු නිසැකය. මේ දක්වා අප කර තිබෙන්නේ ධනපතියන්ට මෙම යන්ත්‍රය අහිමි කිරීමය. අපි එය අත්පත් කරගෙන සිටිමු. අපි මෙම යන්ත්‍රය, නැතහොත්, මුගුරු සියළු සූරාකෑම විනාශ කිරීම සඳහා යොදා ගන්නෙමු. සූරාකෑමේ හැකියාව මුළු ලොවෙහිම කිසිම තැනක තවත් නොපවතින කළ, ඉඩම් හිමියන් සහ පැක්ටරි හිමියන් තවත් නොමැති කළ, සමහරුන් කුස ගින්නේ සිටිද්දී සමහරුන් ගිලදමන තත්වයක් තවත් නොමැති කළ, එවැනි දේ සඳහා ඉඩකඩ තවත් නොමැති වූ කළ අප මෙම යන්ත්‍රය කසල ගොඩට දමන්නෙමු. එවිට රාජ්‍යයක් හා සූරාකෑමක් නොපවතිනු ඇත. අපගේ කොමියුනිස්ට් පක්ෂයේ අදහස එයයි. පසුව කරනු ලබන දේශන වලදීඅපට නැවතත් මෙම මාතෘකාව වෙත ආපසු ඒමට, එය වෙත නැවත නැවතත් ඒමට ලැබෙතැයි මම බලාපොරොත්තු වෙමි.